Sunday, July 4, 2021

ලොව විශාලතම හා සුඛෝපභෝගී සංචාරක මගී නෞකාව - _Symphony of the seas_


බාර්සිලෝනා ධජය යටතේ ලියාපදිංචිය පවතින, පාවෙන නඟරයක් බඳු මෙම සුවිශාල නෞකාව රෝයල් කැරිබියානු කෲස් සමාගමට අයත් වෙයි. මෙම සුවිශාල පාවෙන පාරාදීසය තැනීමට වියදම්ව ඇති සමස්ත මුදල ඩොලර් බිලියන 1.35 කි. නෞකාව දිගින් අඩි 1180 කි. මෙහි මගීන් 6680කට ගමන් කල හැකිය. කාර්ය මණ්ඩලය 2200කින් සමන්විත වන අතරම, නෞකාව තට්ටු 18 කින් යුක්ත වන්නේය. 


ලොව බොහෝ ධනවත් සංචාරකයන් මෙම නෞකාවේ සිය සුන්දර නිවාඩු ගත කිරීම පිණිස පැමිණෙයි. නෞකාවේ අසිරිය විඳ ගැනීමට සංචාරකයන්හට ප්‍රමාණවත් කාලය මෙන්ම වියපැහැදම් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් අත්‍යාවශ්‍යම වෙයි. 


2015 වසරේ ඇමෙරිකානු සමාගමක් විසින් නිර්මාණය කිරීම ඇරඹි අතර, 2018 වර්ෂයේ මාර්තු මාසයේදී බාර්සිලෝනා සිට සිය මංගල ගමන දියත් කළ මෙම නෞකාව රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, සම්බාහන මධ්‍යස්ථාන හා පැසිපන්දු ක්‍රීඩා පිටියකින් ද සමන්විත වෙයි. එසේම, ආසන 1400ක රංඟ ශාලාවක් හා තවත් රංඟ ශාලාවන් කිහිපයකින් ද යුක්ත වන්නේය.


ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් විශාල වන මෙහි එළිමහන් වේදිකා සහිත රඟහලක්, උද්‍යානයන්, සුඛෝපභෝගී සන්නාම සහිත සාප්පු, තරු පන්තියේ භොජනාගාර ද වෙයි. ටොන් ලක්ෂ 2.27 ක ස්කන්ධයක් සහිත වන මෙහි අට වැනි මහලෙහි ඇති මධ්‍යම උද්‍යානයෙහි විවිධ වර්ගයෙහි නිවර්තන කලාපීය වර්ගයේ පැල 20,000 ක් පමණ දැකගත හැකිය. උද්‍යානයෙහි හිඳිමින් නිදහසේ කාලය ගත කිරිමේ හැකියාව සංචාරකයින්හට හිමිව ඇත්තේය. 


සමස්ත නෞකාවට එන්ජින් තුනකින් බලය ලබා දීම සිදු කරන අතර, අශ්ව බල 7380 ක බලයක් ජනනය කරනු ලබන්නේය. එසේම, පැයට කිලෝමීටර් 41 ක සාමාන්‍ය වේගයකින් ගමන් කිරීමට ද නෞකාවට හැකියාව පවතියි. එයට අමතරව, එක් දිනකට නෞකාව මගින් ගැලුම් 66,000 ක පමණ ප්‍රමාණයකින් යුතු ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබයි. 


නෞකාවෙහි වන, The Perfect Storm Water Slides හි ජලය සමඟ ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට හැකියාව පවතින අතර, Zip Line හි ජලය සමඟ විවිධ ක්‍රීඩා මගින් නවමු අත්දැකීම් ලබා ගැනීමට පවා අවස්ථාව හිමි ය. නැවෙහි වන Symphony Dunes ස්ථානයට කුඩා දරුවන් බෙහෙවින් කැමැත්තක් දක්වයි. එසේම, Studio B center ice rink හි විවිධ අලංකාර වර්ණ අතුරෙන් අයිස් මත නර්තනයෙහි යෙදෙන ශිල්පීන් දැක බලා ගැනීමට ද හැකි වෙයි. Royal Theater හි විකාශය වන චිත්‍රපට නෞකාවෙහි 3, 4 හා 5 යන මහල්වල සිට නැරඹීය හැකිය. Aqua Theater හෙවත් ඔලිම්පික් මොඩලයේ වේදිකා සහිත ජලජ රඟහලට අයත් ස්ථානයෙහි ජලය සමඟ විවිධ ත්‍රාසජනක අත්දැකීම්හි නිරත වන්නන් දෙස බලා සතුටු වීමට අවස්ථාව ද හිමි වෙයි. 


නෞකාවෙහි ප්‍රධාන භෝජනාගාරය 3, 4 හා 5 යන මහල් පුරාවටම පැතිර යනු ලබන අතර, විවිධ සාම්ප්‍රදායික ආහාර වේල් පවා රස විඳිය හැකිය. රසවත් ආහාරවලින් සමන්විත පෞද්ගලික භෝජනහල් වන Windjammer Marketplace මගින් රසකැවිලි වර්ග හා නොයෙක් ආහාර රස විඳිය හැකිය. එමෙන්ම, Izumi, Sorrento' s, Johnny Rockets, Jamie' s Italian Foods යන භෝජනහල්වලින් විවිධ රටවලට ආවේණික ආහාර වර්ග පවා මිල දී, රස විඳිය හැකිය. 


නෞකාවෙහි අට වන මහලෙහි වන Chop Grilles මෙන්ම Bionic Bar මගින් ඇනවුමට අනුව ස්වයංක්‍රීයව පුරවා ලබා ගත හැකි කොක්ටේල් පානයන් සඳහා ද නෞකාව සුවිශේෂී වෙයි. තවත් විවිධ බාර්හල්වලට අමතරව, නැව අයිති සමාගමට අයත් වන සාප්පු සංකීර්ණයක් ද මෙහි වෙයි. Sugar Beach නම්, විවිධ රසැති චොකලට් වර්ග හා බීම වර්ග හා විවිධ රසකැවිලි ද මිල දී ගත හැකි ස්ථානයකි. විවිධ ව්‍යායාම මධ්‍යස්ථානයන් හා විඩාව මඟ හරවා ගත හැකි ආකාරයේ නැවතුම්පොළවල් ද නෞකාවෙහි වෙයි. 


විවිධ රටවල සිට පැමිණෙන සංචාරකයින් සමඟ විනෝද වීමටත්, ලොව වෙනත් කිසිඳු නෞකාවකින් ලබා ගත නොහැකි ආකාරයේ අත්දැකීම් ලබා ගැනීමටත් පවතින පාවෙන දිව්‍යලෝකයක් බඳු වූ මෙම නෞකාව සංචාරක ලෝකය තුළ වඩාත් වැදගත් වූවක් වශයෙන් හඳුන්වා දිය හැකි වන්නේය.

No comments:

Post a Comment

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...