Sunday, August 21, 2022

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය




කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අපට මුණගැසෙන විශාලතම පුරා වෘත්තමය කතාවක් ගැබ්ව පවතින්නා වූ මේ සල්වානා වෙහෙර හෙවත් විලඳගොඩ පුරාණ රාජමහා විහාර භූමියයි.


පුත්තලමේ සිට කිලෝමීටර 27ක් පමණ, දුරකින්, අනුරාධපුර-පුත්තලම් පාරේ, 17 වන සැතපුම් කණුවෙන් වමට හැරී පහළ පුලියන්කුලම ගම්මානය පසු කරමින් යන විට මෙම ඓතිහාසික ස්ථානය ඇස ගැටේ. එය මෙම ප්‍රදේශයේ අවසාන ගම්මානයයි. අසංඛ්‍යාත සියඹලා ගසක් ඔවුන්ගේ දැවැන්ත සෙවණැල්ල මහ පොළොව මතට පතිත කරනු ලබන ස්ථානය පුලියන්කුලම ලෙස හැඳින්වේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිටි පැමිණෙන වන අලින්ගේ ග්‍රහනය පාලනය කිරීමට වනාන්තරය ගමෙන් වෙන් කරනු ලබන්නේ විදුලි වැටක් ආධාරයෙනි.


අක්කර 500ට ආසන්න වපසරියකින් සමන්විත මෙම විහාර භූමිය එක් පසෙකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සීමා මායිම්වත්, තවත් පසෙකින් නීලබැම්ම ගොවි ජනපදයට සීමා මායිම්වත් පිහිටා ඇති අතර, පෞරාණික වැව් 15ට අධික සංඛ්‍යාවක් පිහිටා තිබීම එහි ඇති සුවිශේෂි වූ ලක්ෂණයක්ව තිබේ. එල්ලංගා පද්ධතියට හිමිකම් කියන ගස් ගොම්මන සහිත මෙකී වැව් එකිනෙක පරයා ජලය රැගෙන යාමේ ක්‍රියාන්විතය නිසි ලෙස ක්‍රමවත්ව සිදුකරන ආකාරය අදටත් එහි යන කාගේත් නෙතට හමුවේ.


මෙම විහාරස්ථානය ක්‍රි.ව. 4-5 වැනි කාලයේ දී ඉදිවූවක් බව ඉතිහාස ග්‍රන්ථ හෙළිදරව් කරයි. එකල මෙකී ස්ථානය සාලිය අශෝකමාලා සැඟව සිටි ලෙන ලෙස ජනවහරේ හැඳින්වේ. ශිලා ලිපි දහයකට අධික ප්‍රමාණයක් මෙහි සටහන් වේ. පොදුවේ වහරල මිදීමේ ලිපි වශයෙන් හඳුන්වනු ලබන මේවා බොහෝ විට පඩි පේලි අසල සටහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව වහරල මිදීම යනු වහලුන් වහල්භාවයෙන් මිදවීමය.


හිරු එළිය අනුකම්පා විරහිතව පෘථිවිය මත බැබළුණේ එහි කුහරවල සැඟවී ඇති ජල බින්දුවලින් මිදීමටය. කාලගුණය උණුසුම් හා වියළි වූ අතර ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් කිහිපය අවිවාදිත ජීවිතයක් ගත කළහ. එකී ගම පසු කරනවාත් සමඟ මේ පුරාණ විහාරය පිහිටා ඇත්තේ මනස්කාන්ත වූ හුදෙකලා බවින් යුත් මනරම් පරිසර පද්ධතියක් තුළය. මෙය විශේෂිත වූ ජෛව විවිධත්වයකින් සැකසුණ අතර, දේශීය කුරුළු විශේෂ මෙන්ම සත්ත්ව විශේෂ රැසක් නිරන්තරයෙන් හමු වේ. ඒ අතර අලින්. වලසුන් සේම දිවියා ද දැක ගත හැකි නිසා මෙන්ම කොටියන් ද සැරිසරන හෙයින් අදටත් කොටි ගුහාව ලෙස නම් කර තිබේ.


තවද මෙම ස්ථානයේ භික්ෂූන් වහන්සේගේ භාවනාමය කටයුතු සඳහා එකල රජ දවස ඉදි කළ ලෙන් 64ක් පිහිටා ඇති අතර, ඒවායෙහි එවකට රහතුන් වහන්සේ භාවනානුයෝගිව වැඩ සිටි බවට ඉතිහාසය මනාව සාක්ෂි දරන්නේ කටාරම් සහිත වූ කැටයම්වලින් මෙය ඔපමට්ටම් කර ඇති බැවිනි.


දැනට මෙහි ගුහා 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් පමණක් දැක ගත හැකි නමුත් ඒවා ද එක් දිනකදී දැක බලා ගැනීමට නොහැකි තරම්ය. මන්ද අක්කර 500ක් පමණ වූ භූමි වපසරියක් පුරා මෙම විහාර භූමිය දිවෙන නිසාය. ඇතැම් ගුහා වෙත ළඟාවීම ඉතා දුෂ්කර බව කනගාටුවෙන් යුතුව සඳහන් කළ යුතුය ගුහා 64ම කිසිවකු විසින්වත් දැක නැති බවයි විහාරවාසී අනුරාධපුර නන්දවිමල හිමියන් විසින් පෙන්වා දෙනු ලබනුයේ


විලඳගොඩ පුරාණ රාජ මහා විහාරයට ගොඩවැදුණු ඕනෑම තරාතිරමක අයකුගේ ඇස ගැටෙනුයේ ප්‍රථමයෙන් සාල වන විහාරය හෙවත් සල්වානා විහාරය චෛත්‍යය පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේ හරය ලොවට කියාපාමින් ගලින් නිමකරන ලද මෙය ඉතා දැකුම්කලු නිර්මාණයකි.


ධාතුසේන රජ දවස ඉදිකරවූ විහාර මන්දිර දාහඅටකින් එකක් ලෙස මෙය අපට ඉතිහාසය සටහන් කරනු ලබයි. කෙසේ වෙතත් මේ පූජනීය භූමියේ ඉදි කර ඇති වෙහෙර විහාර අතරින් මෙම විහාරස්ථානයට ප්‍රමුඛස්ථානයක් හිමිව තිබෙන්නේ එය නිමකර ඇති ශෛලිය වර්තමාන සමාජයට ද අභියෝගයක් එක්කාසු කරවමින් තිබීම හේතුවෙනි.


ඒ අනුව කලාවැව ඉදිකර වූ ධාතුසේන රජු විසින් ඉදිකරන ලද වෙහෙර විහාර 18ක් අතරින් සල්වානා වෙහෙර සහ ගිරිපබ්බත වෙහෙර සුවිශේෂී වටිනාකමක් ඇති බව වංශ කතාවල සඳහන්ය.


මෙහි ගල් පඩි සහිත සාලිය පොකුණ, අනුරාධපුර ලෝවාමහාපායට සමාන ගල් කණු කරු සහිත උපෝසථ ගෙය හෙවත් සීමා මාලකය, චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කරවන ලද බුදු පිළිමය කටාරන් කොටන ලද ලෙන් 60ක් සහිත මෙහි භික්ෂුන්ගේ පැන් පහසුව සඳහා ඉදිකරන ලද පොකුණු කිහිපයට අමතරව ගිනි හල් පොකුණ, අඩි දහඅටක් ගැඹුරැති දිය කෙමිය ඇතුළු තවත් විස්මිත වූ සුවිශේෂි නටබුන් රැසක් පිහිටා තිබීම එහි යන කාගේත් නෙත් සිත් පැහැරගන්නා සුළුය.


 

.....ලක් ඉතිහාසය කැළඹූ සාලිය අශෝකමාලා පෙම් පුවත.....


 


සාලිය අශෝකමාලා හමුවීම....


සාලිය කියන්නේ අපේ රටේ පහළ වූ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙකු වන දුටුගැමුණු රජතුමාගේ එකම පුතුණුවන්. අශෝකමාලා කියන්නේ චණ්ඩාල නම් වූ පහත් කුලයකට අයත් වුණු තරුණියක්. ඇය අශෝක නම් ගසක මල් නෙළමින් සිටි අවස්ථාවේ සාලිය කුමාරයාගේ නෙතට අහම්බෙන් ඇයව හසු වනවා. සමහර ජනප්‍රවාද වලට අනුව අශෝකමාලා මේ අවස්ථාවේ ඉතාම මිහිරි හඬින් ගී ගයමින් සිටි බවද පැවසෙනවා. අශෝකමාලාව දකින සැණින් සාලිය කුමරු මේ තරුණියත් සමඟ ආදරයෙන් බැඳුණු වග තමයි ඒ හැම පුවතකින්ම කියවෙන්​නේ…


රැවටුණු චිත්‍රය....


සාලිය අශෝකමාලා හමුවීම ගැන තවත් රසබර කතාවක් පැරණි ජනප්‍රවාදවලින් හමුවනවා. එම කතාවට අනුව වරක් අශෝකමාලා අනුරාධපුරය නගරයේ යම් ගමනක නිරත වෙමින් සිටි අවස්ථාවක සාලිය කුමරු තමන්​ගේ රථයෙන් ඇය අසලින් ගමන් කොට තිබෙනවා. මෙවෙලේ බියට  පත්වන අශෝකමාලා කරන්නේ අසල තිබූ ප්‍රාකාර බිත්තියකට හේත්තු වෙමින් සැඟවෙන්න උත්සාහ කිරීමයි. ප්‍රාකාර බිත්තියට ​ඇලී සිටින අශෝකමාලාව සාලිය කුමරු දකින්නේ සිත්තරෙක් විසින් අඳින ලද අලංකා​ර සිතුවමක් ලෙසයි. එම සිතුවම අඳිනු ලද්දේ කවුරුන් විසින්දැයි තම සේවකයින්ගෙන් විමසන සාලිය කුමරුට තමන් දුටුවේ සිතුවමක් නොව අතිශය රූමත් ජීවමා​න තරුණියක් බව දැනගන්නට ලැබෙනවා. ඉන් පසුව සාලිය කුමරු ඇයව තම මාළිගයට ගෙනගොස් සිය බිසව කරගත් බව එම ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. 


 

ඇතිවූ බාධා.... 


හැම ආදර කතාවකටම මෙන් මේ ආදරේටත් බාධා රැසක් එල්ල වනවා. ඉන් ප්‍රධානම බාධාව වන්නේ ඔවුන් දෙදෙනා අතර පවතින කුල භේදයයි. සාමාන්‍යයෙන් මෙවැනි නොපෑහෙන කුල අතර සිදුවන ආදර කතාවක අවසන් ප්‍රතිඵලය වන්නේ මරණ දඬුවමයි. නමුත් මේ ප්‍රේමකතාවේ අවසන් ප්‍රතිඵලය ඊට වෙනස් එකක් වෙනවා. සාලිය කුමරුගේ පිය රජතුමන් වන දුටුගැමුණු රජු විසින් සාලිය සහ අශෝකමාලාව පිටුවහල් කරනු ලබනවා. 


කෙසේ නමුත් තවත් සමහර ජනකතාවලට අනුව නම් අශෝකමාලාව දැක පෙමෙන් බැඳෙන සාලිය කුමරු තමන් රජ පෙළපතකින් පැවත එන බව සඟවමින් අශෝකමාලාව විවාහ කොටගෙන සැඩොල් ගමේ ජීවත් වෙන්න පටන් ගත් බවටත් කියවෙනවා. 


 

රජකම අහිමිවීම සහ රජුගේ ආශීර්වාදය හිමිවී​ම....


​ප්‍රේමය නිසා සාලිය කුමරු රජකම අත්හැරි බව තමයි ප්‍රසිද්ධ මතය වන්නේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධව විවිධ විවාදාත්මක කරුණු තිබෙනවා. අතීත සිංහල රාජ සම්ප්‍රදාය අනුව රජකම පැවරු​ණේ සොයුරාගෙන් සොයුරා​ට මිස පියාගෙන් පුතාට නොව​න බැවින් සාලිය කුමරා රජකම එපා කියූ බව සාවද්‍ය කතාවක් බවට සමහර ඉතිහාසඥයින් මත පළ කරනවා. කෙසේ වෙතත් රජ කුලයට වැද්ද නොගත්තත් අශෝකමාලාට සහ සාලිය කුමරුට දුටු ගැමුණු රජුගේ ආශීර්වාදය හිමි වූ බව කියවෙනවා. ඊට අශෝකමාලා සතුව පැවති රූපශ්‍රීයත් බෙහෙවින්​ම බලපා ඇති බව​ටයි පුරාණ කතාවලට අනුව පැවසෙන්​නේ. සාලිය සහ අශෝකමාලා හමු වූ අශෝක වනය තුළම උත්සවශ්‍රීයෙන් මේ දෙදෙනාව සරණ පාවා දී එම උයනේම ඉදිකරන ලද තෙමහල් මාළිගයක් දුටුගැමුණු රජු විසින් ඔවුන්ට තෑගි කළ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා.


 

තන්තිරිමලයට නම ලැබීමට හේතුවූ සිදුවීම....


එක දිනක් අශෝකමාලා විසින් පිසිනු ලැබූ රත්තම්පලා ව්‍යංජනයක් සේවකයෙකු අ​තේ දුටුගැමුණු රජු වෙන යවනු ලැබ තිබෙනවා. රජතුමන් යම්කිසි ගැටළුවකින් පීඩාවට පත්ව දැඩි කෝපයකින් පසුව සිටි අවස්ථාවකයි සේවකයා විසින් මේ ආහාරය රැගෙන එන්​නේ. එනිසා කෝපයෙන් පසුවූ රජු “සැඩොල් ගැහැණියකගේ ආහාර මා හට එපා” යැයි කියමින් එම ​ආහාර බඳු​න මාළිගයේ බිත්තියකට වදින සේ කෝපයෙන් විසිකරනවා. කාලයත් සමග බිත්තියට ඇලුණු එම රත්තම්පලාවලින් පැළ හටගන්නවා. එම පැළ වසාගෙන තන්තිරියන් නම් කෘමි විශේෂයක්ද පැතිරෙන්න පටන් ගන්​නවා 


මේ අතරතුර එක් දිනක් විසප්පු ගෙඩියකින් රජතුමාගේ කකුළේ තුවාලයක් ඇතිවෙනවා. මේ තුවාලය සුව කරන්න හැකි රත්තම්පලා වලින් පමණක් බවයි වෙදැදුරන්ගෙන් දැනගන්න ලැබෙන්නේ. නමුත් රත්තම්පලා සොයාගැනීම දැඩි අසීරු කාර්යයක් වෙනවා. ඒ මොහොතේදී බිත්තියේ ඇලුණු රත්තම්පලා ගැන රජුගේ සේවකයාට සිහිපත් වනවා. අවසානයේදී එතැනින් ලබාගන්නා රන්තම්පලා ගෙන රජු සුව කිරීමට වෙදුන් සමත්වනවා. පසුව අශෝකමාලා විසින් එවූ රත්තම්පලා ව්‍යංජනය නිසා තමන් සුවපත් වූ බව දැනගන්නා රජතුමා අශෝකමාලාට ස්තූති කරමින් (රත්තම්පලා පැළවල පැතිරී සිටි) තන්තිරියා කෘමීන්ගේ හැඩයට රනින් කළ මාලයක් ත්‍යාග කර තිබෙනවා. 


පසු කලෙක සාලිය කුමරුන් විසින් මේ තන්තිරියා මාලය නිදන් කරනු ලැබූ බවත්, තන්තිරිමලය ප්‍රදේශයට එම නම ලැබුණේ ඒ හරහා බවත් ජනප්‍රවාදවල කියවෙනවා. 


 

පෙම් කතාව සඳහන් පැරණි මූලාශ්‍ර....

 


සාලිය අශෝකමාල පෙම්පුවත ගැන මහාවංසය, දීපවංශය වගේ පුරාණ සාහිත්‍ය මූලාශ්‍ර වල දැක්වෙන්නේ තරමක් කෙටියෙන්. මේ පෙම් පුව​ත ගැන ගොඩාක් දුරට දැනගන්න පුළුවන් මූලාශ්‍රය වන්​නේ සද්ධර්මාලංකාරයයි. මේ කෘතියේ මේ ආදර කතාව ගැන තරමක් විස්තරාත්මකව කරුණු සඳහන්ව තිබෙනවා.


 

සාලිය අශෝකමාලා පසුබිම් කරගත් කලා නිර්මාණ....


සාලිය අශෝකමාලා කතාවත් සමග​ම මුලින්ම මතක​යට එන තවත් ලාංකීය පෙම් සිහිවටනයක් වන්​නේ ඉසුරුමුණි පෙම් යුවළයි. ඒ ගල් කැටයම නිර්මාණය කර ති​බෙන්නේ මේ සාලිය අශෝකමාලා ආදර කතාව පසුබිම් කරගෙන බවටත් අපේ සමහර ජනප්‍රවාද වල කියවෙනවා. ඒ විතරක් නෙමෙයි, සිංහල ගී කලාවෙත් ගීත ගණනාවකට සාලිය අශෝකමාලා කතාව පසුබිම්ව තිබෙනවා. හියුබත් දිසානායකයන් විසින් පද රචනය කොට සුනිල් ශාන්තයන් විසින් ගයනු ලැබූ මේ “හෝපලු වනයේ” ගීතයටත් මේ සිදුවීමයි පසුබිම් වු​ණේ. සිංහල සිනමාවේ දෙවැනි කතානාද චිත්‍රපටය වන අශෝකමාලා (1947) චිත්‍රපටයද මේ පෙම් කතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද්දක්..

 

තමන්ගේ රජකම සමහර අවස්ථාවන්වලදී ලෝකයක් පාලනය තිරීමට තරම් වූ උත්තරීතර පාලකයකු වූ සාලිය කුමරු සිය ආදාරය පරිත්‍යාග කර අශෝක මාලා කුමරිය සමඟ පැමිණියේ ඒ උත්තරීතර වූ ආලය, සෙනෙහස නිසාවෙනි.


ඒ දෙපළගේ කුලුඳුල් පෙම් කෙළියේ සමාරම්භය සටහන් වුණ ස්ථානය අද හඳුන්වනු ලබන්නේ සාලිය ගුහාව නමිනි. එහි ඉදි වී ඇති ගල් කුලුනු සේම ගල් කණුවල ඒ ආදර වෘත්තාන්තයේ වචන අපිට කියන්නට පුළුවනි නම් අදත් කියනු ඇත 


එදා මෙදා තුර ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත සාලිය කුමරු සහ අශෝකමාලා කුමරියගේ ‍ප්‍රේම වෘත්තාන්තයේ දිගහැරුම ඉතිහාස වංශ කතාවේ රන් අකුරින් සටහන් විණි. වර්තමානයේ මෙම ස්ථානය හැඳින්වෙන්නේ විලඳගොඩ පුරාණ රාජ මහා විහාරය ලෙසිනි.


සාලිය කුමරු අශෝකමාලා කුමරිය රැගෙන විත් පෙම් කෙළියේ යෙදී සිටියදී අමාත්‍යවරයකුගෙන් ලද දැනුම් දීමක් අනුව සාලිය කුමරුගේ පිය රජු සිය පුතණුවන් සොයා එම ස්ථානයට සම්ප්‍රාප්තව ඇති බවත්, එහිදී සාලිය කුමරු බැහැදැකීමට පැමිණි මොහොතේ සාලිය කුමරු විසින් විලඳ සහ මී පැණි මිශ්‍ර ආහාරයක් මනා ලෙස සකස් කොට සිය පිය රජු වෙත පිළිගන්වා ඇති බවත් කියවේ. අනතුරුව ආහාරය වළඳා පිය රජු සාලිය කුමරුට දුන් දඩුවමක් වශයෙන් ඉතිහාසයේ සදහන්ව ඇත්තේ “මේ විලඳ ඇටයක් පාසා මෙවැනි වෙහෙර විහාර මේ පුණ්‍ය භූමියේ ඉදිකිරීමට හැකියාව ලැබේවා යන්නයි. ඒ කියමන පෙරදැරිව මෙම විහාරය ඇතුළු තවත් විශාල වෙහෙර විහාර රැසක් ඉදිකරලීම හේතුවෙන් මෙම විහාරය විලඳගොඩ නමින් ප්‍රචලිත වන්නට ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ.


එපමණක් නොව සාලිය අශෝකමාලාගේ ආදර කතා පුවත මේ වනයේ අස්සක් මුල්ලක් පාසාම රැව් පිළිරැව් දෙමින් තිබූ බවට සාක්ෂි සාධක දරන නටබුන් අදටත් ජීවමානව පැවතීම විශේෂත්වයකි. ඔවුන් ආදරයෙන් උමතු වී දොඩමලු වුණ අවස්ථා මේ ගල් තුළ කාවැදී අදටත් පවතින්නේ ඒ ආකාරයෙන්ම වූවත් ඒ සියල්ලට විරාමයක් තබා අද වන විට මේ ස්ථානය කොයි කාගෙත් වන්දනාමානයට පාත්‍ර වූ මුදුන් මල්කඩක් ලෙස නිර්ලෝභිව නිර්වචනය කළ හැකිය...


බැලුම්ගල......


මෙම විහාර භූමියටම ආවේණික ශෛලියකින් නිම කර ඇති විශ්වකර්ම නිර්මාණයක් වන බැලුම්ගල එහි යන කොයි කාගේත් නෙත් පිනවන විස්මයජනක කලා නිර්මාණයකි. එය නිරීක්ෂණ පර්වතය ලෙසින් ද හඳුන්වනු ලබයි. මෙය පාෂාණමය භූමියක් මත පිහිටා ඇති දැවැන්ත වටකුරු පර්වතයකි. පුදුමයට කරුණ නම්, මෙම පර්වතයට නැඟීමට ඇති හැකියාවයි, මන්ද එහි කුඩා කොටසක් බිම ස්පර්ශ වන බැවිනි. එය දුටු විට, ඕනෑම මොහොතක එය පෙරළෙනු ඇතැයි යමෙකු අපේක්ෂා කරයි.


වයඹ පළාත රාජධානි තුනකටත්, උප රාජධානියකටත් සීමා වේ. ඒ අනුව ජනප්‍රවාදයේ පැවසෙන පරිදි රජතුමා විසින් මේ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සදහා මුර සෙබළුන් යොදා ගනිමින් මේ ගල් පර්වතය භාවිත කර ඇත. බැලුමක හැඩයකින් සමන්විතව පිහිටා තිබීම නිසාවෙන් මෙය බැලුම්ගල ලෙස හැඳින්වෙන බව පැවසේ.


තවත් අවස්ථාවකදී සමහරු පෙන්වා දෙනු ලබනුයේ රජතුමාගේ ආරක්ෂාව පිණිස ගල් උගුලක් වශයෙන් මෙය යොදා ගෙන ඇති බවයි. කුමන දිශාවකින් හෝ පැමිණෙන සතුරු සේනාව මැඬලීම සදහා ක්ෂණිකව පෙරළිමට මෙය සකසා ඇති ආකාරයක් දක්නට ලැබේ.


මෙම බැලුම්ගල වට කරමින් එකල ගෘහ නිර්මාණ ශිල්පීය දක්ෂතා ඔප්නංවන ආකාරයට කටාරම් සහිතව නිර්මාණය කර තිබීමත් ඊට සාපේක්ෂව විශේෂ වූ වර්ණයකින් යුක්තව අඳින ලද සිතුවම් මෙහි දක්නට ලැබෙන සුවිශේෂත්වයකි.


හාත්පසින්ම වෙනස් ආකාරයේ අරුම පුදුම විස්මය දනවනසුළු විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ නව නිර්මාණයක් ද මෙහි පිහිටා ඇත. එය නම් බැලූ බැල්මට ඇස් උඩු යටි කුරු කරමින් හිස් කබලේ සිට මාපට ඇඟිල්ල දක්වා දිවෙන රුධිරය මොහොතකට සිසිල් දිය පොදක් බවට පත් කරන බැලුම් ගලය. උස අඩි 60ට ආසන්න විශාල පර්වතයක් පොළොව මට්ටමට සවි වී ඇත්තේ අඩියක් වැනි සුළු කොටසකිනි. නමින් බැලුම් ගල යනුවෙන් හඳුන්වනු ලබන මෙම ගල් පර්වතය එකල රහතුන් වහන්සේලා භාවනා කිරීම සඳහා ධ්‍යාන ලෙන් වශයෙන් උපයෝගි කර ගෙන ඇතැයි කියවේ..


විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි, කොටි, වළසුන්, මුවන්, ගෝනුන් ඇතුළු අපා දෙපා සිවුපාවුන් සිය නිජ භූමිය කරගෙන ඇති මෙම විහාර භූමිය ඔවුන්ගේ පරම වාසස්ථානය බවට පත්ව තිබේ. කොටි ලෙන, ඇත් පවුර එයට කදිම නිදසුන්ය.


මෙහි වනවාසී භික්ෂුන් වහන්සේලා සිවුනමක්, ධ්‍යාන ලෙන් තුළ භාවනානුයෝගිව වැඩ වාසය කරති. රටේ ප්‍රසිද්ධියට පත් ලක්වාසී බෞද්ධ බැතිමතුන්ගේ මුදුන්මල්කඩක් බඳුවූ මෙම පුරාණ රජ මහා විහාරයට පවතින උග්‍ර පානිය ජල හිඟය, උග්‍ර විදුලි අර්බුදය සහ වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිකම නිසාවෙන් විහාරයට පැමිණෙන වන්දනාකරුවන් දැඩි අපහසුතාවයට ලක් වන බව කිය යුතුය.


විහාරයේ රෝපණය කර ඇති ඉපැරැණි බෝධීන් වහන්සේටද වන අලි නිතර කෙනෙහෙලිකම් කරති‍. වින කටින වල් අලි  පලවා නොහැර ඊට යාබදව අඩි ගණනාවක් උසින් ඉදි කිරීමට යෝජිත  බෝධි ප්‍රකාරය තුල නව බෝධි අංකුරයක් රෝපණය කිරීම සදහා එයට පිණැති කව්රුන් හෝ පිංවත් බැතිමතුන් සිටීනම් උදව් උපකාරයක් කරන්නේ නම් එය සම්බුද්ධ  ශාසනයට කරන්නාවු        මහත් පුණ්‍ය කර්මයක් ලෙස එය දකින බවයි. 


උග්‍ර පානිය ජල ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලෙස නළ ළිඳක් ඉදිකර දීමට කටයුතු කරන්නේ නම් විහාරස්ථානයට පමණක් නොව සමස්ත සත්ව ප්‍රජාවගේම පිපාසය සන්සිඳුවීමට එය මහෝපකාරි වනු ඇත.


රාත්‍රී කාලයේ දී කුප්පි ලාම්පුවේ ආලෝකය මුළු මහත් විහාර භූමියටම ඇති එකම ආලෝකයයි. අඩ සඳ එළියේ සෙමෙන් සෙමෙන් විහාරය වෙත ඇදෙන සද්ධන්තයින්ගේ කුංචනාද මධ්‍යයේ සම්මා දිට්ඨියෙන් සම්මා වෑයමක යෙදෙන්නාවූ මේ වනවාසී භීක්ෂූන් වහන්සේලා සැබැවින්ම නුතන යතිවර පරපුරේ යතිවරයන් යැයි හැඳින්විය හැකිය.


උන්වහන්සේලා වෙනුවෙන් පිළිගැන්වෙන දානය වළඳනවා මිස බෙදා හදාගෙන වැළඳීමෙන් උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බව කියයි. කටයුතු සඳහා කැපකරු මහතකු සොයා ගැනීම ද බරපතළ ගැටලුවක්ව තිබෙන බව කියයි. එවැනි මහතකු නොමැතිකම නිසාවෙන් වනවාසී භික්ෂූන් වහන්සේලා දානවේල මඟ හැර භාවනාවේ යෙදෙන බව කියයි.


පුරාවිද්‍යාත්මක මෙන්ම ඵෛතිහාසික වටිනාකමකින් සමන්විත වූ මෙවැනි පෞරාණික ස්ථාන නුදුරේදී නිදන් සොරුන්ගේ ග්‍රහණයට නතු වී විනාශ වන්නට ද ඉඩ තිබේ. ඊට ඉඩහැර මුනිවත රකිනවා වෙනුවට මෙවන් ස්ථාන වැඩි දියුණු කර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්නේ නම් වැදගත් ය.

 

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...