Sunday, July 10, 2022

පිරන්හා මත්ස්‍ය ප්‍රහාර නිසා සිදුවුණු දරුණු අනතුරු 5ක්


මිනී මස් කන බිහිසුණු මත්ස්‍යයා – පිරන්හා...

ලෝකයේ විවිධ මත්ස්‍ය වර්ග ජීවත් වේ. ඒ සෑම මත්ස්‍ය වර්ගයකටම අනෙක් මත්ස්‍ය වර්ග වලින් වෙනස් වන විවිධ වූ ලක්ෂණ පවතී. ඒ අතරින් ඇතැම් මසුන් අපගේ ආහාර වේල සඳහා පෝෂණය ලබා දේ. ඇතැම් මසුන් විෂ සහිත වන අතර මිනිසුන්ගේ මාංශ පවා ආහාරයට ගැනීමට තරම් දරුණු මත්ස්‍යයින්ද සිටී. පිරන්හා යනු ලෝකයේ ජීවත් වන එවැනි බිහිසුණු මත්ස්‍ය කොට්ඨාශයකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ පිරන්හා මසුන් පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි.


පිරන්හා මසුන් යනු කවුරුන්ද....


පිරන්හා යනු දැළිපිහියක් වැනි තියුණු දත් ඇති දකුණු ඇමරිකාවේ ජීවත් වන දරුණු මත්ස්‍ය විශේෂයකි. බ්‍රසීලියානුවන්ට අනුව පිරන්හා යන වචනයේ තේරුම වන්නේ “දත් මාළුවා” යන්නයි. නමුත් සියලුම පිරන්හා මසුන් රුධිරය සඳහා කැමැත්තක් දක්වන්නේ නැත. ඇතැම් පිරන්හා වර්ග ශාක භක්ෂක මත්ස්‍යයින් වේ. දැනට ලෝකයේ පිරන්හා මත්ස්‍ය විශේෂ 40 ත් 60ත් අතර  ප්‍රමාණයක් ජීවත් වන බව වාර්තා වේ.


ශරීර ලක්ෂණ....


බොහෝ පිරන්හා මත්ස්‍ය විශේෂ සෙන්ටිමීටර් 60කට (අඩි 2) වඩා වර්ධනය නොවේ. මොවුන්ගේ පාට රිදීවන් පැහයක් ගන්නා අතර  සිරුරේ යට ප්‍රදේශය තැඹිලි පැහැයේ සිට තනි කළු වර්ණය දක්වා වෙනස් වේ. මෙම මසුන්ගේ සිරුර ගැඹුරු ස්වභාවයක් ගන්නා අතර උදරය විශාල වේ. හිස එතරම් මුවහත් ස්වරුපයක් නොගන්නා අතර දත් ඉතා තියුණු උල් ත්‍රිකෝණාකාර හැඩයක් ගනී.


ජීවත් වන ප්‍රදේශ....


පිරන්හා මසුන් ජීවත් වන්නේ මිරිදිය තුළයි. මොවුන් වැඩි වශයෙන් සොයාගත හැක්කේ දකුණු ඇමරිකාවේ ඇති ඇමසන් ද්‍රෝනිකා වල, orinoco ගංගාව හා ඇන්ඩිස් කඳු වල නැගෙනහිර ප්‍රදේශ වලයි. ඔවුන්ට විල්, අතු ගංගා, තෙත් බිම් ආදී විවධ වූ ස්ථාන වල ජීවත් වීමේ හැකියාව පවතී. මොවුන් ඇතැම් විට ගංවතුර වලට හසුවූ වනාන්තර වල පවා දැකිය හැක.  පිරන්හා මසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ගලා යන ජලයේ ජිවත් වීමටයි. මොවුන් ජීවත් වන ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 75 – 86 අතර වේ.


ආහාර....


මාංශ භක්ෂක සත්ව කොට්ඨාශයක් ලෙස හැඳින්වුවද පිරන්හා මත්ස්‍යයින් සර්ව භක්ෂක වේ. ඔවුන් තමාට හසු වන සෑම දෙයක්ම ආහාරයට ගනී. ඔවුන්ගේ ප්‍රියතම ආහාර වර්ග කීපයක් වන්නේ කෘමින්, පණුවන්, ශාක වර්ග හා කවච මත්ස්‍යයින් වේ. නමුත් ඇතැම් පිරන්හා වර්ග තනිකරම ශාක භක්ෂක සත්වයින් වේ.


red – bellied පිරන්හා යනු භයානකම පිරන්හා මත්ස්‍ය වර්ගයකි. මෙම වර්ගය ආහාර සොයා ගැනීමේදී විසිර යයි. එක් මත්ස්‍යකුට ගොදුරක් ලැබුණු විට ඔහු අනෙක් මත්ස්‍යයින්ට සංඥාවක් ලබා දීම සිදු කරයි. එවිට සියලුම මසුන් එම ගොදුර වට කර ගනී. එක් red – bellied පිරන්හා මත්ස්‍යකුට දිනකට ග්රෑම් 2.26ක පමණ ප්‍රමාණයක් ආහාරයට ගත හැක. එය ඔවුන්ගේ ශරීර ප්‍රමාණයෙන් අටෙන් එකක් පමණ වේ.  wimpel පිරන්හාවන් ගොදුරක් දුටු විට ඉතා ක්ෂණයකින් ඒ දෙසට ඇදී ගොස් ගොදුර අල්ලා ගැනීම සිදු කරයි.


1972 වසරේදී red – bellied පිරන්හා මසුන් යොදාගෙන කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ගොදුරක් අල්ලා ගැනීමේදී මොවුන් මුලින්ම පහර දීමට පටන් ගන්නේ ගොදුරේ නැට්ටේ හෝ ඇස් දෙකේ සිටයි. විද්‍යාඥයන්ට අනුව මෙමගින් ගොදුර ඉක්මනින් අඩපණ වන නිසා ඔවුන්ගේ ආහාරය මග හැරෙන්නේ නැත.


පිරන්හා මසුන්ගේ දත්...


පිරන්හා මසුන් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඔවුන්ගේ තියුණු දත් නිසාවෙනි. වර්ධනය වූ පිරන්හා මත්ස්‍යයෙකුගේ ති‍්‍රතුණ්ඩ දත් දැකගත හැක. මෙම දත් මිලිමීටර් 4ක පමණ දිගකින් යුතු වේ. පිරන්හා මසුන්ගේ දත් තියුණු ලෙස කැපෙන තල ලෙසට සැකසී ඇත්තේ ඔවුන්ගේ ආහාර ඉරා ගැනීමට පහසු වීමටයි. මොවුන්ගේ දත් පිහිටා ඇති ආකාරය මෝර මසුන්ගේ දත් පිහිටා ඇති ආකාරයට සමාන වේ. පිරන්හා මසුන්ගේ දත් වැටීම සිදු වේ. නමුත් ජීවිත කාලය තුළ කීප වරක්ම අලුත් දත් නැවත වර්ධනය වීම සිදු වන නිසා ඔවුන්ගේ ආහාර රටාවන්ට බාධා ඇති නොවේ.


පිරන්හා මසුන් පණ ඇති මිනිසුන් ආහාරයට ගන්නවාද...?


බොහෝ දෙනෙක්ට පිරන්හා යන නම ඇසූ පමණින් මතක් වන්නේ මිනිසුන් කෑලි වලට ඉරා තම අහාරයට ගන්නා මසුන් විශේෂයකි. නමුත් මෙම කතාව බොහෝවිට මිථ්‍යාවකි. විද්‍යාඥයන්ගේ මතය අනුව රාත්තල් 150ක් බර මිනිසෙකු විනාඩි 5ක් වැනි කාලයක් තුළ ඉරා කෑම සඳහා පිරන්හා මසුන් 300ත් 500ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙම මසුන් මිනිසුන්ගේ මස් කෑමට ගත් අවස්ථා වාර්තා වේ. නමුත් එලෙස අහාරයට ගන්නා අවස්ථාව වන විටත් එම මිනිසුන් මරණයට පත් වී සිට ඇත. උදාහරණයක් ලෙස දකුණු ඇමරිකානු ගංගාවක පිරන්හා මසුන් ආහාරයට ගත් මළමිනී දක්නට ලැබුණි. නමුත් මසුන් අහාරයට ගන්නා අවස්ථාව වන විට එම පුද්ගලයින් හෘදයාබාධ හා අපස්මාරය වැනි තත්වයන් නිසා ජලයේදීම මියගොස් සිට ඇත. දරුණු ලෙස මරණාසන්න තුවාල ලබා සිටින පුද්ගලයින්ද පිරන්හා මසුන් විසින් ආහාරයට ගත හැක.


වර්ගයා බෝ කිරීම.....


පිරන්හා මත්ස්‍යයින් බිත්තර දමන ආකාරය දැක ගැනීම තරමක් අපහසු කාරණයක් වේ. මොවුන් ගල් අතර, මුහුදු පැළෑටි හා ගිලුණු ලී කොට අතර ප්‍රදේශ බිත්තර දැමීම සඳහා තෝරා ගනී. කුඩා පැටවුන් බලා ගැනීමේ වගකීම පැවරෙන්නේ පිරිමි පිරන්හා මත්ස්‍යයින්ට වේ. ගැහැණු පිරන්හා සත්වයින් වරකට බිත්තර දහස් ගණනක් දැමීම සිදු කරයි. සාමාන්‍ය පිරන්හා මත්ස්‍යයෙක් වසර අටක් පමණ ජිවත් වේ.


පිරන්හා මසුන් ගොදුරක් වන්නේ කාගේද?

පිරන්හා මසුන්ද ඔවුන්ට වඩා බලවත් මසුන්ගේ ගොදුරක් බවට පත්වේ. විශේෂයෙන්ම මෙලෙස ගොදුරු බවට පත් වන්නේ කුඩා පිරන්හා මසුන්ය. පිරන්හා මසුන් ආහාරයට ගන්නා අනෙකුත් සත්ව වර්ග ලෙස Ciamans, ජලජ සර්පයින්, කැස්බෑවන්, විශාල කුරුල්ලන් හා දිය බල්ලන් දැක්විය හැක.....


දකුණු අමෙරිකාව ආශ්‍රිත ව ජීවත් වන සතුන් අතුරින් මිනිසුන්ට පවා හානි කරන භයානක සත්ත්වයකු ලෙසින් පිරන්හා මත්ස්‍යයා හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 30ක් තරම් දිගකට වර්ධනය වන පිරන්හා මත්ස්‍යයන් බැලූ බැල්මට අහිංසක සත්ත්ව විශේෂයක් මෙන් දිස්වෙනවා.


නමුත් උන්ගේ ශක්තිමත් හකු සහ තියුණු දත්වලින් ඕනෑම ජීවියකු ඇටසැකිල්ලක් බවට පත්කිරීමට වැඩි කාලයක් ගතවන්නේ නැහැ. එහි දී ගොදුර වෙත පනින පිරන්හා මත්ස්‍යයන් පැන පැන සපා කන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. 


400-500ක් තරම් මත්ස්‍යයන් ප්‍රමාණයක් සිටින පිරන්හා රංචුවකට මිනිසකු අසුවුණොත් ඉතාමත් කෙටි කාලයක් තුළ එම මිනිසා සම්පූර්ණයෙන්ම කා දැමීමේ හැකියාව උන්ට තිබෙනවා. ගෙවුණු වසර 50ක පමණ කාලය තුළ පිරන්හා මත්ස්‍යයන්ට ගොදුරු වුණු උදවිය පිළිබඳ  පුවත් දකුණු අමෙරිකානු රටවල්වලින් වාර්තා වුණා. ඉන් සමහර අවස්ථාවල දී එක් වර විශාල පිරිසක් පිරන්හාවන්ට ගොදුරු වුණා. තවත් සමහර අවස්ථාවල දී එක් අයකු හෝ කිහිපදෙනකු පිරන්හාවන්ට ගොදුරු වුණා. මේ ඔබට කියන්න යන්නේ ඒ අයුරින් එල්ල වුණු දරුණු පිරන්හා ප්‍රහාර 5ක් පිළිබඳව යි.


1). බස් රථයක් ගංගාවකට වැටීමෙන් 1976 දී සිදුවුණු අනතුර  


මධ්‍යම බ්‍රසීලයේ මනාවුස් නගරයේ සිට ඉටකොටියාරා නගරය දක්වා බස් රථයක් 1976 නොවැම්බර් 14 වැනිදා රාත්‍රියේ දී ධාවනය වුණා. එම බස් රථයේ මගීන් 41 දෙනෙක් ගමන් කළා. එදින රාත්‍රියේ ගමන් ආරම්භ කළ බස් රථය කිලෝ මීටර් 270ක දුරක් ගෙවමින් පසු දා පාන්දර වන විට ගමනාන්තය වෙත ළඟා වීමට නියමිත ව තිබුණා.


බස් රථය ගමන් කළ මාර්ගය තරමක් දුෂ්කර එකක් වුණා. ඒ ඇමසන් ගංගාවේ අතු ගංගා අදාළ ගමන් මාර්ගය හරහා වැටී තිබුණු නිසා යි. ගමන් මාර්ගයේ සමහර ස්ථානවල දී අතු ගංගා හරහා ඉදිකර තිබුණු පාලම් අනාරක්ෂිත වුණු නිසා කල්පනාකාරී ව රිය ධාවනය කිරීමට රියදුරන්ට සිදුවුණා.


උරුබු ගංඟාව - users.encs.concordia.ca

මෙම සිද්ධිය වුණු දිනයේ දී බස් රථයේ තිරිංග ක්ෂණයකින් ක්‍රියා විරහිත වීම හේතුවෙන් බස් රථය පෙරළී ගොස් උරුබු ගංගාවට වැටුණා. ඒ සමඟ ම ගංගාවේ ජීවත් වුණු පිරන්හා මත්ස්‍ය කණ්ඩායම් බස් රථයේ සිටි පිරිස වෙත ළඟා වෙමින් සිටියා. අනතුර සිදුවුණු ප්‍රදේශය කැලෑබද එකක් නිසා සිද්ධිය පිළිබඳ ආරක්ෂක අංශ වෙත දැනුම් දී උදව් ලබාගැනීමට අවස්ථාවක් ද තිබුණේ නැහැ.


බස් රථයේ සිටි පිරිස පිරන්හා මත්ස්‍ය කණ්ඩායම් හමුවේ අවසානයේ දී පරාජයට පත්වුණා. ගංගාවේ ජලය ක්‍රමයෙන් රතු පැහැයට හැරුණා. ඒ සමඟම  මිනිසුන්ගේ බියකරු විලාප හඬ ඇසෙන්නට වුණා. වැඩි වේලාවක් යන්නට පෙර පිරන්හා මත්ස්‍ය කණ්ඩායම් ඔවුන්ගේ මෙහෙයුම අවසන් කළා.


එම අනතුර නිසා බස් රථයේ ගමන් කළ මගීන්ගෙන් 39 දෙනකු මියගොස් තිබුණා. මරණයෙන් ගැලවුණු පුද්ගලයන් දෙදෙනා බස් රථය ගංගාවට වැටෙන්නට පෙර රථයෙන් ඉවතට විසි වී තිබුණා. එනිසා ඔවුන්ගේ ජීවිත බේරුණා. ඒ වගේ ම රියදුරා සහ රිය සහායකයා මෙම අනතුරෙන් දිවි ගලවා ගත්තා. අනතුර නිසා මිය ගිය බොහෝ දෙනකුගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි වන තරමට විකෘති වී තිබුණා.


එනිසා මිය ගිය අයගේ සිරුරු කොටස්වල දැවටී තිබුණු ඇඳුම් කැබලි මඟින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සිදුවුණා. මෙම අනතුර පිරන්හා මත්ස්‍යයන් පහරදීම හේතුවෙන් සිදුවුණු දරුණුත ම අනතුරක් ලෙසින් සැලකෙනවා.  


2). 40 වසරකට පෙර සිදුවුණු සොබ්‍රල් සැන්ටෝස් බෝට්ටු අනතුර 


80 දශකයේ ආරම්භය වන විට බ්‍රසීලයේ මනාවුස් සහ  සන්ටාරෙම් නගර අතර ඇමසන් ගංගාව හරහා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වුණා. එම සේවාව සඳහා යොදාගත් බෝට්ටුව සොබ්‍රල් සැන්ටෝස් ලෙසින් හැඳින්වුණා. කපිතාන් එලිඕ පැල්හරේස්ගේ මඟපෙන්වීම යටතේ බෝට්ටුව සුපුරුදු ගමනට 1981 සැප්තැම්බර් 19 වැනිදාත් එක් වුණා. එම ගමන සඳහා 500ක පමණ පිරිසක් එක් ව සිටියා. බෝට්ටුවට පමණට වඩා බර ද පටවා තිබුණා. 


 ඇමසන් ගංගාව ඔස්සේ  ඉතාමත් මන්දගාමී ව යාත්‍රා කළ බෝට්ටුව අධික බර දරා ගත නොහැකි ව ඔබිඩෝස් ප්‍රදේශයේ දී පෙරළී ගියා. ගඟේ සිටි පිරන්හා මත්ස්‍යයන් බෝට්ටුවෙන් මුහුදට වැටුණු මිනිසුන්ට අනුකම්පා විරහිත ව පහර දුන්නා. එම පහරදීම් හමුවේ බොහෝ උදවිය සිය ජීවිතය ඉල්ලා විලාප තැබුවත් ඔවුන් විපතින් ගලවා ගැනීමට කිසිවකුට හැකිවුණේ නැහැ. එම අනතුරෙන් මිනිසුන් 300කට පමණ සිය ජීවිත අහිමි වෙද්දී 178ක් සිය ජීවිත බේරා ගත්තා. ඉතිරි පිරිස අනතුරෙන් පසු අතුරුදහන් වුණා. ඒ අයුරින් සිදුවුණු සොබ්‍රල් සැන්ටෝස් බෝට්ටු අනතුර ඇමසන් ගංගාව ආශ්‍රිත ව සිදුවුණු වඩාත් දරුණු අනතුරක් ලෙසින් ඉතිහාසයට එක් වුණා.


3). සය හැවිරිදි ඇඩ්‍රිලා මුනිස් දැරියගේ මරණය 


2015 ජනවාරි 27 වැනිදා සවස් වරුවේ ඇඩ්‍රිලා මුනිස් නම් සය හැවිරිදි දැරිය ඇයගේ මිත්තණිය සහ තවත් මිතුරු මිතුරියන් සිව්දෙනකු සමඟින් ඔරුවක ගමන් කරමින් සිටියා. ඔවුන්ගේ ඔරුව යාත්‍රා කළේ ඇමසන් ගඟේ අතු ගංගාවක් වුණු මයිකූරු ඔස්සේ යි. එම ගමන අතරතුර හදිසියේ ම හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් ඔරුවේ සමබරතාව ගිලිහී ගියා.


ඒ සමඟ ම කුඩා ඇඩ්‍රිලා ඔරුවෙන් ඉවතට විසි වී ගියා. දැරිය වතුරට වැටුණු මොහොතේ මිත්තණිය ආධාර ඉල්ලා කෑගැසීමත් සමඟ මසුන් මරන්නන් පිරිසක් එම ස්ථානයට පැමිණියා. ඔවුන් දැරිය බේරා ගැනීම සඳහා උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ.


එහි දී දරුණු පිරන්හා ප්‍රහාරයකට ගොදුරු වුණු ඇඩ්‍රිලා දැරියට අවාසනාවන්ත මරණයක් උරුම වුණා. එම මරණය පිළිබඳ අදහස් දැක්වූ ඇතැම් උදවිය පවසා සිටියේ පිරන්හා ප්‍රහාරයට ලක්වීමට පෙර දැරිය දියේ ගිලී මිය යන්නට ඇති බව යි. ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වුණේ පිරන්හා ප්‍රහාරය හේතුවෙන් ඇගේ පාදවලට විශාල හානියක් සිදු ව තිබුණු බව යි. ඇඩ්‍රිලා මුනිස් දැරියගේ මරණය ඇමසන් ගංඟාව ආශ්‍රිත ව වාර්තා වුණු තවත් එක් අවාසනාවන්ත මරණයක් බවට පත්වුණා. 


4). නත්තල් දිනයේ එල්ල වූ දැවැන්ත පිරන්හා ප්‍රහාරය 


2013 වසරේ නත්තල් දිනයේ දී ආජන්ටිනාවෙන් දැවැන්ත පිරන්හා ප්‍රහාරයක් පිළිබඳ පුවතක් වාර්තා වුණා. එම කාල සමයේ දී ආජන්ටිනාවට ගිම්හාන ඍතුව උදා වෙනවා. එනිසා එහි උෂ්ණත්වය දහවල් කාලයේ දී විශාල ලෙස ඉහළ නගිනවා. මෙම සිදුවීම වුණු දිනයේ රොසාරියෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් 40 දක්වා ඉහළ ගියා. එනිසා බොහෝ උදවිය උණුසුම දරාගත නොහැකි ව දිය නෑම සඳහා පරානා ගඟ වෙත ගියා. මෙම පිරන්හා ප්‍රහාරය එල්ල වුණු අවස්ථාවේ  70ක පමණ පිරිසක් එම ප්‍රදේශයේ දිය නාමින් සිටියා.


දිය නාමින් සිටි දරුවෙක් වේදනාවෙන් කෑගසමින් ගොඩබිම දෙසට එක් වර ම දිව යන්නට වුණා. ඒ සමඟ ම තවත් පිරිසකට පිරන්හාවන්ගෙන් ප්‍රහාර එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දිය නාමින් සිටි සියලු ම දෙනා සිය ජීවිත බේරාගෙන ගොඩබිම දෙසට දිව ගියා. එම ප්‍රහාරය හේතුවෙන් මරණ කිසිවක් වාර්තා නොවුණත් කිහිප දෙනකුට තුවාල සිදුවුණා. සමහර දරුවන්ගේ පාදවල ඇඟිලි අහිමි වීම කනගාටුදායක සිදුවීමක් වුණා. ගිම්හාන ඍතුවේ දී පිරන්හාවන් ආහාර සොයාගෙන ගං ඉවුරු ආසන්නයට පැමිණෙනවා. එනිසා ගිම්හාන කාලයේ දී පිරන්හා අනතුරු බහුල ව සිදුවෙනවා. 


5). පැරගුවේ ගංගාවේ පිරන්හා ප්‍රහාරය 


පැරගුවේ ගංගාව බ්‍රසීලය, පැරගුවේ, ආජන්ටිනාව සහ බොලිවියාව යන රටවල් හරහා ගලා බසිනවා. 2011 නොවැම්බර් 13 වැනිදා බ්‍රසීලයේ කැසීරස් නගරයේ තරුණයන් පිරිසක් පැරගුවේ ගංගාවේ දිය නාමින් සිටියා. 15 දෙනකුගෙන් සමන්විත වුණු එම කණ්ඩායමට පිරන්හා ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරය ආරම්භ වුණු මොහොතේ ම ක්‍රියාත්මක වුණු තරුණයන් ගොඩබිම වෙත ඉක්මනින් ගොස් සිය ජීවිත බේරා ගත්තා. එහි දී ඇතැම් තරුණයන් පිරන්හාවන්ගේ සපාකෑම් හේතුවෙන් තුවාල ලබා තිබුණා.


එම ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වූ 22 හැවිරිදි එල්සන් පින්ටෝ මෙසේ පවසා සිටියා.


"මං ගඟේ නාලා නැඟිටිනකොට මගේ පාදයේ වේදනාවක් දැනුණා. ඊට පස්සේ කකුල දිහා බලනකොට  මගේ ඇඟිල්ලේ අග නැතිවෙලා කියලා දැක්කා. ඒ එක්කම මං ගඟෙන් ගොඩබිමට ඉක්මනට දිව්වෙ ලේ නිසා මට තවත් ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන්. ඒ වෙලාවෙ මං ඉක්මනින් ක්‍රියාත්මක නොවුණා නම් දරුණු පිරන්හා ප්‍රහාරයකට ලක්වෙන්න ඉඩ තිබුණා කියල මට හිතෙනවා”.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පින්ටෝ පවසා සිටියේ පිරන්හා ප්‍රහාරයක් එල්ල වුණු විගස ම හැකි ඉක්මනින් ක්‍රියාත්මක වී ආරක්ෂක ස්ථානයක් වෙත යා යුතු බව යි. යම් ආකාරයකින් ලේ සුවඳ දැනුණොත් උන්ගෙන් කිසිදු ගැලවීමක් නොලැබෙන බව පින්ටෝ එහි දී අනාවරණය කළා. එය පිරන්හාවන් වාසය කරන ප්‍රදේශ ආශ්‍රිත ව ජීවත් වන උදවියට වැදගත් උපදේශයක් බවට පත්වුණා.




5 comments:

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...