Thursday, July 7, 2022

ගොඩබිම වෙසෙන විශාලතම ආත්‍රපෝඩාවන් විශේෂය වන පොල් කකුළුවා


පොල් කකුළුවා (Coconut crab ) 

 වි. නාමය- (Birgus latro) 


පොල් කකුළුවා යනු ගොඩබිම වෙසෙන විශාලතම ආත්‍රපෝඩාවන් විශේෂය වේ. මොවුන් පිලිබඳ 1830 වර්ෂයේ සටහනක් තැබූ චාල්ස් ඩාවින් පවසා තිබුණේ "ඔවුන් විශාල ශරීරයකට හිමිකම් කියයි. එමෙන්ම ඔවුන් ආහාරයට ඉතාමත්ම සුදුසුයි". මොවුන්ගේ ශරීර එහි ප්‍රමාණය පිළිබඳව නිශ්චිත වාර්තාවක් සඳහන් නොවුනත්, බොහෝ ප්‍රභවයන්ගේ සදහන් වන පරිදි ශරීර දිග සෙන්ටිමීටර 40 (අඟල් 16) ක්ද, බර කිලෝග්‍රෑම් 4.1 (රාත්තල් 9.0), කකුල් අතර පරතරය මීටර් 0.91 (අඩි 3.0) ට වඩා වැඩි වන අතර පිරිමි සත්වයන් සාමාන්‍යයෙන් ගැහැණු සත්වයන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලය. ශරීර ආවරණය වන කටුවේ දිග මි.මී. 78 (අඟල් 3.1) සහ පළල මිලිමීටර් 200 (අඟල් 7.9) පමණ වේ. ඔවුන්ගේ වාස භූමි ලෙස ඉන්දියානු සාගරයේ ඇති දූපත්ද, පැසිෆික් සාගරයේ නැගෙනහිරින් ගැම්බියර් දූපත් (Gambier Islands)සහ පිට්කේන් දූපත් (Pitcairn Islands) දක්වාද දක්නට ලැබේ. ඕස්ට්‍රේලියාව සහ මැඩගස්කරය ඇතුළු සැලකිය යුතු මානව ජනගහනයක් ප්‍රදේශ වල කලකට ඉහතදී දක්නට ලැබුණත් දැන් එම දූපත් වල බොහෝ ප්‍රදේශවලින් ඔවුන්ගේ ජනගහණය මුලිනුපුටා දමා ඇත.


වැඩිහිටි පොල් කකුළුවන් මූලික වශයෙන් පලතුරු, ඇට වර්ග, බීජ සහ දිරාපත්වන මස් ආදිය ආහාරයට ගනු ලබයි. නමුත් ඔවුන් අවස්ථාව අනුව අනෙක් සත්වයන්ට අයත් ආහාරද සොරාගන්නා නිසා මංකොල්ල කකුළුවා (Robber Crab) ලෙසද මොවුන් හදුන්වනු ලැබේ. මොවුන්ට පොල් කකුළුවා ලෙස නම් කිරීමට හේතුව මොවුන් පොල් ගස් ආශ්‍රිතව නිතරම ගැවසීම නමුත් මොවුන් පොල් ආහාරයට ගන්නා වගක් වාර්තා වී නැත. එසේම මොවුන් ගස් නැගීමටද සමත් වේ.


මොවුන්ගේ ප්‍රජනන සමය ආරම්භ වන්නේ ජූලි සහ අගෝස්තු මාස වලදීය. ගැහැණු සත්වයා බිත්තර දැමූ පසු ඇගේ විශේෂ මැලියම් වලින් බිත්තර ඇගේ යටි බඩෙහි රඳවාගන්නා අතර බිත්තර වලින් පැටවුන් ලැබීමට ආසන්න වන තුරු බිත්තර මෙලෙස ශරීරයේ රඳවා ගනී. බිත්තර බිඳෙන විට එනම් ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වන විට ගැහැණු සතුන් තම බිත්තර වඩදිය සමඟ මුහුදට නිදහස් කරනු ලබයි. වාර්තා වන පරිදි බොහොමයක් ගැහැණු සත්වයන් එකම වේලාවකදී බිත්තර  නිදහස් කරනු ලබයි. මෙසේ නිදහස් කිරීමෙන් අනතුරුව දින 28 ක කාලයක් මෙම බිත්තර පිළව් ලෙස වතුරේ පාවෙන අතර ඉන් පසුව හර්මිට් කකුළුවන් (Hermit Crabs) මෙන් මුහුදු පතුලේ ජීවත් වේ. විටෙක ඔවුන් ගොඩබිමට පැමිණෙන අතර සාමාන්‍ය හර්මිට් කකුළුවන් මෙන් තම තාවකාලික කටුවද වෙනස් කරනු ලබයි. මෙලෙස අවුරුදු 4 ක කාලයක් කටුව වර්ධනය වන තුරු දිවි ගෙවයි. මොවුන්ගේ ජීවන කාලය පිලිබඳ නිශ්චිත දත්ත නොමැති වූවත් මොවුන් අවුරුදු 60 කට වඩා ජීවිත කාලයක් හිමි බවට සැලකේ. 


මොවුන් දැන් ආහාරය සදහා ඉතා විශාල වශයෙන් මිනිසුන්ගේ ගොදුරු බවට පත් වේ. එම නිසා සීග්‍රයෙන් වඳ වී යන සත්ව කොටසක් ලෙසට රතු දත්ත පොතට ඇතුලත්ව ඇත..






පාරම්පරික දැනුම (Traditional Knowledge)

 


පාරම්පරික දැනුම යනු කුමක්ද? ඒ තමයි යම් ජන කොටසක් (බොහොවිට ආදිවාසින්) හෝ යම් වෘතියක නියැලෙන පිරිසක්, දිගු කලක් පරිසරය සමග ජීවත්වී, යම් වෘතියක නියැලී ලබා ගන්නා ලද දැනුම් සම්භාරය. මෙයට විවිධ අර්ථකතන දිය හැකිය. වර්තමානයෙදී පාරම්පරික පාරිසරික දැනුම (Traditional Ecological Knowledge) කියල එකක් ගැනත් නිතර කතා වෙනව. ඒ තමයි ආදි වාසීන්ගේ පරිසරය පිලිබද දැනුම. විවිධ පිරිස් අතර පවතින මෙම දැනුම් සම්භාරයන් නුතන ලොකයේ විවිධ ආකාරයෙන් භාවිත කරනව. විශේෂයෙන්ම උතුරු අමරිකාවේ වඳවෙමින් පවතින වනජීවින් සුරැකීම පිණිස මෙම දැනුම බහුලව භාවිත කරනව. 


වන සතුන්ගේ සංක්‍රමණය පිලිබද තොරතුරු, ගංගා, මුහුදේ සහ ගොඩබිමේ ඔවුන්ගේ ප්‍රජනනය සහ කුඩා පෑටවුන් වාසය කරන ස්ථාන (breeding and nursery grounds) මෙන්ම කාල වකවානු පිලිබද අතීත දැනුම (historical knowledge) ලබා ගැනීම පිණිස පාරම්පරික දැනුම උපයෝගිකරගනු ලබනව.


වඳවීගෙන යන වනසතුන් ආරක්ෂා කරන්න වනජිවි ආරක්ෂණ පනතක් (Species at Risk Act – SARA) කැනඩාවෙ තියනව. මෙම පනත යටතේ ආදි වාසින්ගෙ පාරිසරික දැනුම වනජිවීන් සුරැකීම සඳහා භවිතා කරනවා.


සැමන් (Atlantic salmon) ඇතුලු වඳවීගෙන යන මසුන්, වන සතුන්, මුහුදු ජිවින් සහ ශාක සුරැකීමට මෙම දැනුම භවිතා කරනව. ආදි වාසින්ගෙන් මෙම දැනුම එකතු කරගැනීම පිණිස විවිද ක්‍රමවේද භාවිත කෙරෙනවා. සම්මුඛ සාකච්චා, කතන්දර කීම (story telling) , සිතියම් භාවිතකොට දත්ත එකතුකිරීම ඉන් කිහිපයක්. මෙම පනත යටතේ, මේ සඳහා වෙනම අරමුදලකුත් තියනව (Aboriginal Fund for Species at Risk – AFSAR). මෙම අරමුදල මගින් වනසතුන් සුරැකීමට ඇවසි පාරම්පරික දැනුම රැස් කිරීම සදහා යෝජනා කරන ව්‍යාපෘති වලට අරමුදල් සපයනව. 


මෙම පනත යටතේ සුරැකිය යුතු සතුන් හඳුනා ගැනීම සඳහාම පිහිටුවන ලද ආයතනයකුත් (Committee on the Status of Endangered Wilidlife in Canada – COSEWIC) කැනඩාවෙ තියනව. මෙම ආයතනය මගින් සුරැකීමට අවශ්‍ය වන සතුන් හඳුනාගනු ලබනව. ඊට පස්සෙ හඳුනාගනු ලැබූ සතුන් විවිද කාණ්ඩ යටතේ වර්ග කරනව. මේ අනුව තමයි මෙම සතුන් සුරැකීමට ඇවසි පියවර ගනු ලබන්නෙ.


පාරම්පරික දැනුම බහුලව භවිතා වන තවත් ක්ෂේත්‍ර දෙකක් තමයි දේශීය වෙදකම සහ කාලගුණය. පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම්, සතුන්ගෙ හැසිරීම් රටා වගේ දෙවල් පිලිබඳ දැනුම කාලගුණය පිලිබඳ අනාවැකි කියන්න භාවිත කරනව. වර්තමානයෙදි විවිද හේතු නිසා පසුබෑමකට ලක්වී තිබුනද, ලංකාවෙ මෙන්ම උතුරු අමෙරිකාවෙත් ආදිවාසීන්ටම ආවේණික දේශීය වෙදකමක් තිබිල තියනව. 


මෙවන් දැනුම් සම්භාරයන් කාලයත් සමග අභාවයට යාම වලක්වන්න විවිධ වැඩ පිලිවෙලවල් රජය මගින් ක්‍රි‍යාත්මක කරනව. එක පියවරක් තමයි මෙම දැනුම එකතුකර, සුරැකීම (collection, processing, preservation and archiving). පාරම්පරික දැනුම සුරැකීමට රජය මගින් ක්‍රීයාත්මක කර තිබෙන වැඩ පිලිවෙලට තියන ලොකුම බාධාව තමයි, ආදිවාසින් ඔවුන්ගෙ දැනුම, පිටස්තර ලෝකය එක්ක බෙදාගන්න තියන අකැමැත්ත. ඔවුන්ගෙ බියක් තිබෙනව රජය මෙම දැනුම ආදිවාසින්ගෙ උරුමයන්ට එරෙහිව පාවිච්චි කරයි කියල. කෙතරම් බාධක මැද්දෙ වුවත්, මෙපමණ කාලයක් මුඛ වහරින් පරම්පරාවෙන් පරම්පරාවට ගලාගිය දැනුම, සුරැකීමට රජය මගින් ගනු ලබමින් තිබෙන පියවර ප්‍රසංශනීයයි.


ලංකාවෙත් විවිධ ක්ෂේත්‍රවල උන්නතිය සඳහා භාවිත කලහැකි පාරම්පරික/ප්‍රායෝගික දැනුම් සම්භාරයක් දක්නට ලැබෙනව. දේශීය වෙදකම, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, පසු අස්වනු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර මේ අතරින් කිහිපයක්. විශේෂයෙන්ම මිරිදිය/කරදිය ජලාශ සහ මුහුදේ මසුන් බහුලව ගැවසෙන කාල වකවානු, ස්ථාන, මසුන්ගේ ප්‍රජනනය සිදුවන කාල/ස්ථාන, කාලගුණය පිලිබද ධීවරයන්ගේ ප්‍රායෝගික දැනුම එම ක්ෂේත්‍රයේ උන්නතිය සදහා පහසුවෙන්ම භාවිතකල හැකියි. 


අවාසනාවකට වගේ තවමත් මේ පිලිබඳව වගකිව යුත්තන්ගේ නිසි අවධානයක් යොමුවී නොමැත. නොබෝදා, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය දේශීය පාරම්පරික දැනුම විද්‍යාවේ අභිවෘධිය සදහා යොදාගන්න යම් ආරම්භයක් අරගෙන තිබුන. මෙය හොඳ ආරම්භයක් උනත්, පාරම්පරික දැනුම අදාල ක්ෂේත්‍රයන්හි අභිවෘධිය සදහා යොදාගැනීම සඳහා තව සැලකිය යුතු දුරක් ගමන්කල යුතුව තිබෙනවා.

විද්‍යාත්මක ක්‍රමවේදයන්ට (scientific protocols) අනුව ස්වාභාවික සංසිද්ධින් පිළිබඳ හැදෑරිමෙදී, විවිධ හේතුන් නිසා, දත්ත එකතු කිරීම සීමා වෙනව. 


වසරේ වැඩි කාල පරාසයක්, සම්පත් සමග ගැටෙන, ගොවියන්, ධීවරයන් වැන්නන්ගේ දැනුම, එම ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතු සදහා උදව් කරගත හැකිනම්, එමගින් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගත හැකියි. වෙසෙසින්ම විවිධ සම්පත් කලමනාකරණය සදහා සැලසුම් සකස් කිරීමේදි පාරම්පරික දැනුම භවිතා කිරීම මගින් එම සැලසුම්වල කාර්යක්ෂමතාවය වැඩි කල හැකියි. මෙමගින් ලබෙන තවත් වාසියක් වනුයේ, මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට සම්පත් නෙලාගන්නන්ගේ (resource users) සක්‍රිය දායකත්වයක් ලබා ගැනීමට ඇති හැකියාවවේ. 


මෙවන් සංකල්ප තවදුරටත් දියුණු කිරීම මගින්, අතීතයේදී මෙන් සම්පත් කලමනාකරනාකරණය කිරීමට ප්‍රජාමුලික සම්පත් කලමනාකරණ යාන්ත්‍රණයන් (community based resource management mechanisms) සකස් කල හැකියි. එමෙන්ම පාරම්පරික දැනුම සම්පත් කලමනාකරණයට මෙන්ම, විවිධ සංවර්ධන ව්‍යාපෘති සදහා යොදගැනීම මගින්, තනිකරම විදේශීය දැනුම මත පදනම්ව මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාමෙන් සිදුවිය හැකි වැරදි අවම කරගත හැකිය. 


දේශීය පාරම්පරික දැනුම ශ්‍රි ලංකාවේ උන්නතියට යොදාගනීම නිතැතින්ම ශ්‍රි ලාංකිකයන්ගේ හිතසුව පිණිස වනවා නොඅනුමානය. මේ සදහා අප තවමත් ප්‍රමාද නැත.ඇවැසි වන්නේ පාරම්පරික දැනුම එකතු කිරීමට, එම දැනුම විවිධ ක්ෂේත්‍රයන්ගේ උන්නතිය සදහා යොදගැනීමට; වෙසෙසින්ම සම්පත් කලමනාකරණය කිරීමට මෙන්ම විවිධ වියාපෘති සදහා ශ්‍රි ලාංකික සහභාගිත්වය ඉහල නැංවීම සදහා යම් කාර්යක්ෂම වැඩ පිලිවෙලක් සකස්කිරීම සහ එය ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීමයි


කෘෂිකර්මය ආශ්‍රිත පාරම්පරික දැනුම...


නූතන කෘෂිකාර්මික රටාවත් අතීත කෘෂි කාර්මික රටාවත් එකිනෙකට සසඳන විට ශ්‍රී ලංකාවේ අතීත කෘෂිකාර්මික රටාව පාරම්පරික දැනුම හා සම්බන්ධව පරිසර හිතැති දේශීය තාක්‌ෂණ ක්‍රමවේදවලට අනුව ම පවත්වාගෙන ගිය බැව් සක්‌සුදක්‌ සේ පැහැදිලි වෙයි. සොබා දහමට අනුව පෘථිවියේ, ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඝර්ම කලාපීය රටක්‌ වශයෙනි. එසේම සමකය ආශ්‍රිතව පිහිටි රටකි. මේ සාධක දෙක නිසා කෘෂිකාර්මික රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති වරප්‍රසාද බොහෝ ය. මෙයින් ලැබී ඇති ප්‍රධාන වරප්‍රසාදය වන්නේ දවසේ පැය 12ක තරම් කාලයක්‌ අඛණ්‌ඩව හිරු එළිය ලක්‌ පොළොවට ලැබීමයි. මෙයට අමතරව හිමාල කඳුවැටියේ පිහිටීමත් ලක්‌ පොළොවට වටිනා ජෛවවිවිධත්වයක්‌ හිමි කර දීමට හේතුවක්‌ වී ඇත. හොඳින් හිරු එළිය ලැබීම ලක්‌වැසියන් ගේ බුද්ධි වර්ධනයට ද හේතුවක්‌ වී ඇති බැව් පෙනී යයි. කෙසේ වෙතත් ලොව අනෙක්‌ රටවල් මවිත කරන තරම් වූ පාරම්පරික දැනුමක්‌ හෙවත් දේශීය විද්‍යාත්මක දැනුමක්‌ හිමි වී තිබීම මෙතුවක්‌ කල් ලක්‌වැසියන් ගේ පැවැත්මට ද ප්‍රබල පිටුබලයක්‌ වී ඇත.


ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව ඊසානදිග මෝසම් වැසි හා නිරිතදිග මෝසම් වැසි නිසි කලට ලැබීමත් ඒ අතර කාල සීමාවේ දී අන්තර් මෝසම් වැසි ලැබීමත් මෙරට සරුසාර කෘෂිකර්මාන්තයක්‌ බිහි කිරීමට හේතුවක්‌ විය. නූතන ගොවියාට ජලය ප්‍රශ්නයක්‌ වුවත් අතීත ගොවියාට ජලය ප්‍රශ්නයක්‌ නො වී ය. එකල ගොවියා භූගත ජලයෙන් ගොවිතැන් කිරීමේ දී භාවිත කළ යුතු ක්‍රමවේදය කුමක්‌ ද, අහස්‌ දියෙන් ගොවිතැන් කිරීමේ දී භාවිත කළ යුතු ක්‍රමවේදය කුමක්‌ ද යන්න මැනැවින් අවබෝධ කර ගෙන සිටියේ ය. ස්‌වාභාවික වනාන්තරය හා සැබැඳුණු පසේ හියුමස්‌ හෙවත් කාබනික පොහොර බහුලව ඇති බැව් අවබෝධ කරගෙන සිටි බැවින් ඔහු පොහොර පසට හෝ බෝගවලට හෝ එකතු කළේ නැත. කෙසේ වෙතත් අතීත ගොවියා ජලයත් පොහොරත් පසත් අතර පවතින සම්බන්ධතාව මැනැවින් අවබෝධ කරගෙන කටයුතු කළ බැව් දක්‌නට ලැබේ.


ගැටලුවක්‌ නො වූ සෝදාපාලුව....


ස්‌වාභාවික වනාන්තරයේ පස සුරැකෙන අන්දම මැනැවින් වටහාගත් බැවින් ඉපැරැණි ගොවියාට සෝදාපාලුව එතරම් ගැටලුවක්‌ නො වී ය. වියදමක්‌ ද නො වී ය. ශ්‍රමය කැප කළේ ද අවම මට්‌ටමකිනි. එහෙත් අද ගොවි බිමක්‌ සැකසීමේ දී ප්‍රධාන මෙන්ම මූලික වියදමක්‌ යන්නේ පස සංරක්‍ෂණය කිරීමට ය. අතීත ගොවියා හේනේ, කුඹුරේ, ගෙවත්තේ කොම්පෝස්‌ට්‌ පොහොර සෑදෙන අන්දම බලා සිට එයට සුදුසු පරිසරය සකසා දුන්නා මිස පොහොර සකස්‌ කිරීමට පෙලඹුණේ නැත. ඔහු ලත් පරිසර දැනුමෙන් දෙවැනි පරපුරට ඉගැන්වූයේ කොම්පෝස්‌ට්‌ නිපදවීමට නො ව හැදෙන හැටි ඉගෙන ගැනීමට ය.


අල ලූනු වගා නොකළ මහ කන්නය....


ලක්‌ වැසියා ගේ දේශීය කෘෂි ඥානයට අනුව හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව (මෙය නවීන විද්‍යාවට අනුව පෘථිවිය හිරු වටා ගමන් කරන විට හිරුට සමීපව පිහිටන කාල සීමාව) යල කන්නය ලෙස හැඳින්විණි. මේ සමීප වීම විද්‍යාත්මකව විමසන විට අංශක 17 1/2ක්‌ වන අතර එය අංශක 30 දක්‌වා වෙනස්‌ වීමට හේතු වන කාලය මහ කන්නයට අයත් වෙයි. මේ බව අපේ ගොවියා නවීන විද්‍යාත්මකව දැන නො සිටිය ද ඔහු ගේ ජන විඥානයටත් පාරම්පරික ඥානයටත් අනුව මැනැවින් අවබෝධ කර කාල කළමනාකරණයක යෙදුණේ ය. එබැවින් යල හා මහ කන්න


නිවැරැදිව හඳුනාගෙන නියමිත වගා නිසි පරිදි සිදු කළේ ය. මහ කන්නයට අයත් වන දෙසැම්බර් මස අධික වර්ෂාව හටගන්නා බැවින් අල ලූනු වගා කළේ නැත. අධික දිය සීරාව මේ වගාවට වඩාත් හානිකර බැව් හා අල බැසීමට සෙල්සියස්‌ අංශක 10ක පමණ උෂ්ණත්වයක්‌ අවශ්‍ය බැව් දැන සිටියේ ඔහු ගේ දේශීය කෘෂි විද්‍යාත්මක දැනුමට අනුව ය.


දුරුතු මස මැද භාගයේ දී හෙවත් ජනවාරි මැද කාල සීමාව වන විට රාත්‍රී හා උදයේ ශීත දේශගුණයක්‌ පවතින බැව් දේශීය ගොවියා දැන සිටියේ ය. මේ කාල සීමාවේ දී පවතින සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 10ක්‌ පමණ වෙයි. මේ මිනුම ගොවියා නවීන විද්‍යාවට අනුව දැන නො සිටිය ද මේ අඩු උෂ්ණත්වය සමග හටගන්නා සීතල දේශගුණය සහිත කාලසීමාව පලබර අස්‌වැන්නක්‌ සඳහා එනම් පීදෙන ගොයමට වඩාත් සුදුසු බැව් දැනගත්තේ පාරම්පරික දැනුම ඇසුරෙන් ලැබූ අත්දැකීම්වලිනි.


ගොවිතැන් කිරීමේ දී අස්‌වැන්න ගොවියාට මැනැවින් ප්‍රයෝජනවත් විය. අන්තර් මෝසමේ හටගන්නා වැසි හෙවත් අක්‌ වැහි ඇති වීමත් සමග බිම පෙරළා සීසෑවා මිස මහ වැසි හටගන්නා මහ කන්නයේ බිම් සැකසීමක්‌ නො කළේ අධික වර්ෂාව හේතුවෙන් සෝදාපාලුව ඇති වන බැවිනි. මේ නිසා අන්තර් මෝසම ගොවියාට සම්පත් ළඟා කළ වාසනාවන්ත කාලයක්‌ විය. මහ වැසි සමග මහ කන්නය ආරම්භ වන විට කෙත්බිම් වපුරා අවසන් කිරීමට තරම් හේ ඥානවන්ත විය.


ජල හිඟයක්‌ ඇති වුවත් ඉන් පසුබට නො වූ ඔහු අවම බිම් සැකසුමකින්, අඩු ජල ප්‍රමාණයකින් හා වැඩි කුඹුරු ප්‍රමාණයක්‌ කැකුළමට වැපිරීම ඔහු ගේ අසීමිත කෘෂි තාක්‍ෂණික දැනුමේ අගය විදහා දක්‌වන්නකි. කැකුළමට කරන වගාවේ දී පොහොර යෙදීමක්‌, වල් මර්දනයක්‌ හෝ අවශ්‍ය වන්නේ නැත. මෙහි දී කුඹුරට දැමූ පිදුරු, පොහොරක්‌ මෙන්ම වල් නාශකයක්‌ ලෙසට ද ක්‍රියා කළේ ය. එබැවින් කැකුළමට කළ ගොවිතැන ලාබදායි ආදායම් මාර්ගයක්‌ විය.


සිංහල නඟුල.....


ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක්‌ බැවින් ගසක අතුපතර විහිදෙන සීමාවේ පොළොව මතුපිටින් තරමක්‌ ගැඹුරට මුල් විහිදෙන විද්‍යාත්මක ක්‍රමවේදය දේශීය ඥානයට අනුව ගොවියා දැන සිටියේ ය. එබැවින් පස පෙරැළීමට සිංහල නඟුල භාවිත කළේ ය. සිංහල නගුලෙන් පස පෙරළන විට අඟල් 4කට හෝ 6කට හෝ වඩා ගැඹුරට හෑරුණේ නැත. මේ සීමාව ඇතුළත ඇති පස්‌ තට්‌ටුව සරු බවත් භූගත ජලය හෙවත් දියවර සුරකින බවත් මැනැවින් ගොවියා දැන සිටි බැවින් සරු බෝග වගාවක්‌ ඇති කර ගැනීමට හැකි විය. මෙකී අරමුණු වඩාත් ඉටු වූයේ සුවිශේෂී හැඩයකින් යුත් සිංහල උදැල්ල ගොවිබිමට යොදා ගැනීමෙනි.


හිත මිතුරු වල් පැළෑටි.....


වර්තමාන ගොවියාට වල් පැළෑටි හතුරකු වූයේ බටහිර කෘමිනාශක මෙරටට හඳුන්වා දීමෙන් පසු හා ඒවාට ඔවුන් හුරු වීමෙන් පසුව ය. එහෙත් අතීත ගොවියාට වල් පැළෑටි හිත මිතුරෙක්‌ විය. ගොවියා වල් පැළෑටි ස්‌වාභාවික සම්පත් ලෙස සැලකී ය. වල් උදුරා ගිනි තබා විනාශ කළේ නැත. ඒ වල් පැළෑටි දිරා යැමෙන් පසු ලැබෙන කාබනික පොහොරේ යූරියා අඩංගු බැව් දේශීය කෘෂි විද්‍යාවට අනුව ඔහු දැන සිටි බැවිනි. තව ද ඔහු වගා බිමේ වල් පැළෑටි වගා කළේ ය. ඒ කෘමීන්ට එය ආහාර ගබඩාවක්‌ වන බැවිනි. වල් පැළෑටි අතර ආහාර සොයමින් ඔබ මොබ ඉගිලෙන කෘමියා බෝග වගාවට හානි කළේ නැත. කැ=කුලමට කළ ගොවිතැන වල් පැළෑටිවලින් ගත හැකි ප්‍රයෝජන මැනැවින් ලොවට කියා පෑවේ ය.


බහු බෝග වගාව.....


එදා ගොවියා හේනේ කළ බහු බෝග වගාව, ආදර්ශයක්‌ ලෙස කුඹුරට ද යොදා ගත්තේ ය. සැබැවින් ම බහු බෝග වගාව වගා උපක්‍රමයක්‌ විය. එනම් පසේ සරු බව රැක දීම, ජල ප්‍රතිශතය එලෙසම පැවතීම, කෘමි හා පළිබෝධ වගාව මඟින් සිදු කෙරිණි. වගා කළ බෝග අතර පොහොර බෙදා ගැනීමේ දීත් තරගයක්‌ නො වී ය. හේතුව සැම බෝගයකට ම පොහොර අවශ්‍යතාව එක හා සමාන විය. වගා බිමට පැමිණි විවිධ වර්ණ රටා සහිත කෘමීන් අතර හිතකර කෘමීන් ද සිටි අතර අහිතකර කෘමීන් සිටියේ ස්‌වල්පයකි. එබැවින් කෘමිනාශක යෙදීමේ අවශ්‍යතාවක්‌ නො වී ය. දේශගුණය හා කාලගුණය විවිධ අහිතකර තත්ත්ව උදා කළත් බෝග වගාවට ඉන් හානියක්‌ නො වූ අතර එක ම බිම්කඩකින් අවශ්‍ය සියලු දේ නෙළා ගැනීමට හැකි විය. බහු බෝග වගාව ගොවියා ස්‌වයංපෝෂිත කළ අතර පාරම්පරික කෘෂි ඥානයේ වටිනාකම පෙන්වා දෙන්නක්‌ ද විය.


සොබාදහමේ ක්‍රියාකාරීත්වය මැනැවින් අවබෝධ කරගත් පාරම්පරික ගොවියා බීජ පැළ කිරීම සඳහා යොදා ගත්තේ අත්දැකීමෙන් ලත් කෘෂි විද්‍යාත්මක දැනුමකි. පාරම්පරික ඥානය යනුවෙන් හැඳින්වූයේ මෙයයි. නිදසුනක්‌ ලෙස පොල් ගෙඩිය කීප විටක්‌ ම අත්ල මත උඩ දමන්නේ ක්‍රීඩාවකට නො ව පොල් ගෙඩියේ හරය පිළිබඳව අවබෝධයක්‌ ඉන් ලැබෙන බැවිනි. ගසින් බිමට වැටෙන ගෙඩිය නිසි අතට බර වී (හරහට) පොළොවේ පතිත වන ආකාරය පිළිබඳව සොබාදහමින් ලබා දුන් දැනුම ද පාරම්පරික ගොවියා සිය වගාවට යොදා ගැනීමට අමතක කළේ නැත.


ශරීර අංග ගොවි බිමේ මිනුම් සඳහා යොදාගත් ආකාරය ද විද්‍යාත්මක ය. අත්ල දිග හැරිය විට සුළැඟිල්ලේ කෙළවරත් මාපටැඟිල්ලේ කෙළවරත් අතර දිග වියත නම් විය. ඒ අනුව වියත දිග මනින මිනුම විය. බිත්තර වී මල්ල කුරුණිය විය. මේ කුරුණියෙන් වපුරන ප්‍රමාණය වී කුරුණියක්‌ විය. තව ද හැඩයෙන් වැඩක්‌ ගැනීමට ගොවියා සමත් විය. වී වැපිරුවේ ද හැඩයකට අනුව ය. පැළ සිටුවූයේත් කිසියම් හැඩයකට අනුව ය. ගොවියා ගේ භාෂාවට අනුව හැඩයක්‌ නොමැති විට පැළය තිගැසෙන බවත් තිගැසෙන පැළය නියමිත අන්දමින් පැළ නො වන බවත් කියනු ලැබේ.


ගොවිතැන් සඳහා පොහොර සැකසීමේ දී නැඟෙනහිර සිට බටහිරට ගමන් කරන වාතයේ උෂ්ණත්වය වැඩි බවත් උතුරේ සිට දකුණට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවට හෝ හමන සුළඟ ගමන් කරන්නේ සිසිල් වාතය සහිතව බවත් එදා ගොවියා අත්දැකීමෙන් දැන සිටියේ ය. මේ ක්‍රමවේදයෙන් වගා බිමක්‌ අලංකාරව තබා ගත්තා පමණක්‌ නො ව බිම ස්‌වාභාවික ආපදාවන් ගෙන් ද වගාව ආරක්‌ෂා කර ගත්තේ ය.


ගෙඩි වර්ග තිත්ත වීම.....


ගෙඩි වර්ග තිත්ත වීම හෝ ඇඹුල් වීම පිළිබඳව පාරම්පරිකව ලබා ඇති දැනුම හා අවබෝධය ද විස්‌මයජනක ය. මහ කන්නයේ හෙවත් දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල ගොවියා ගේ අදහසට අනුව මහ පොළොව තිත්ත වෙයි.


මේ අධික වැසි ආරම්භ වී ක්‍රමයෙන් අවසන් වන කාලයයි. මේ දෙසැම්බර් සහ ජනවාරි කාල සීමාව මහ පොළොව උල්දිය දමන කාලය යනුවෙන් හැඳින්වෙයි. උල්දිය දැමීම නිසා භූගත ජලය ද පොළොව මතුපිටට ගලා එයි. මේ හේතුවෙන් පොළොවේ ලවණ ගතිය වැඩි වෙයි. මෙය පොළොව තිත්ත වීම හෙවත් ඇඹුල් වීම යනුවෙන් හැඳින්වෙයි. ඇඹුල් ගතිය වැඩි වීම යනු පසේ ආම්ලික ස්‌වභාවයේ වැඩි වීමකි. ආම්ලික ස්‌වභාවය වැඩි පසේ බීජ පැළ වීම අහිතකර බැවින් මේ කාලය තුළ බීජ වැපිරීමක්‌ හෝ පැළ සිටුවීමක්‌ හෝ නො කෙරිණි. මෙය දේශීය කෘෂි විද්‍යාත්මක ඥානය නිවැරැදිව භාවිත කළ අවස්‌ථාවක්‌ ලෙස හැඳින්විය හැකි ය.


කාලය, කාලගුණය හා දේශගුණය......


සොබාදහමට අනුව උපත ලබන සැම ස්‌වාභාවික වස්‌තුවකට උපතක්‌ පැවැත්මක්‌ මෙන්ම අවසානයක්‌ ද තිබෙන්නේ ය. බීජයකින් පැළ වන ගසක්‌ හොඳින් හැදෙයි වැඩෙයි. මල් පිපී පල දරයි. අවසානයේ දී මිය ඇදෙයි. මේ නියාම ධර්මය පාරම්පරික ඥානය තුළින් අවබෝධ කරගත් ගොවියා මේ ස්‌වභාවය සිතට බරක්‌ කර නො ගෙන කාල චක්‍රය අනුව කාලගුණය හා දේශගුණය මැනැවින් හඳුනාගෙන එයට අවනත ව ගොවිතැන් කටයුතු කරගැනීමට තරම් නිහතමානී විය.


බුදු දහම ගුරු කොටගත් ජීවන රටාවක්‌ අනුගමනය කළ ගොවියා සිය ගොවිතැන් කටයුතුවලට ද එය ඈඳා ගත්තේ ය. ඒ අනුව දුරුතු මහේ බීජ වැපිරුවේත් පැළ සිටුවූයේත් නැත. ඒ මහ පොළොව "තිත්ත" බැවිනි. ඉදිරියේ දී එන නවම් මහේ හටගන්නා නියඟය පෙනි පෙනී බීජ වැපිරීමටත් පැළ සිටුවීමටත් ගොවියා පෙලඹුණේ නැත. ගස්‌වල කොළ හැළෙයි. මැදින් මස තවදුරටත් වැසි අඩු වන බැව් ගොවියා තවදුරටත් අවබෝධ කරගත්තේ ය. එහෙත් මැදින් මහේ අග වැස්‌ස ලැබෙන බවත් එනිසා ගස්‌වල නව දලු ලන බවත් හේ දැන සිටියේ ය. ගොවියා මේ වැස්‌ස හැඳින්වූයේ අක්‌වැස්‌ස යන නමිනි. අක්‌වැස්‌ස ගොවිතැනට නියමිත කාලය පැමිණි බැව් පෙන්වූ දර්ශකයක්‌ විය. මිදෙල්ල ගහේ දලු ලෑම යල් කන්නයේ ගොවිතැනට සුදුසු කාලය පෙන්වූ ඉඟියක්‌ විය. යල් කන්නය අවසානයේ දී හිරු මුදුන් වන බැව් අවබෝධ කරගත් ගොවියා මහ පොළොවට ඇද වැටුණු ගහ කොළ දිරාපත් වීමට ක්‍ෂුද්‍ර ජීවීන් ගේ ක්‍රියාකාරීත්වය බලපාන බැව් ද දැන සිටියේ ය.


මේ ක්‍රමය මැනැවින් අවබෝධ කරගත් බැවින් අතීත ගොවියාට කිසිදු ආයාසයකින් තොර ව කොම්පෝස්‌ට්‌ පොහොර සාදා ගැනීමට හැකි විය. ගොවියා කළේ එයට සුදුසු පරිසරය සකසා නිහඬ ව බලා සිටීම පමණි.


නවම් මහේ අග යල කන්නයේ ගොවිතැන් කෙරෙයි. කෙතේ බීජ වැපිරෙයි. හේනේ නව දලු ලියලයි. හේනේ ගහකොළ මෙන්ම මහ වනයේ රූස්‌ස ගස්‌ මෙන්ම කුඩා ගස්‌ හා පඳුරු ශාක ද නව දලු ලා වැඩෙයි. ඉන්පසු එළඹෙන්නේ වෙසක්‌ මස ය. වෙසක්‌ මහේ ගස්‌ වල මල් ඵල දරයි. ගහ කොළ සිය වර්ගයා බෝ කිරීමට සැරසෙයි. බක්‌ මහේ හටගත් මහ වැසි සමග හටගන්නා බියකරු අකුණුවලින් මහ පොළොවට නයිටේ්‍රට්‌ ලවණ ලැබෙන බැව් දැන සිටි බැවින් අකුණු අනතුරක්‌ නො ව ආශිර්වාදයක්‌ ලෙස සැලකීමට ගොවියා පුරුදු ව සිටියේ ය. බක්‌මහේ වැසි අවසන් වන විට පොළොවේ ලවණතාව නැවතත් වැඩි වෙයි. එබැවින් මේ කාල සීමාවේ බීජ වැපිරීමත් පැළ සිටුවීමත් අතහැර දමයි. දැන් වැඩුණු ගසේ ඵල ලබන කාලයයි. මේ ඵල පොසොන් මස දක්‌වා ම ලැබෙයි. ඇහැළ මහේ ගස්‌වැල් නැවතත් සිය වර්ගයා බෝ කිරීමේ කාර්යයේ යෙදේ. මේ බව හොඳින් දන්නා ගොවියා නිකිණි මහේ ලැබෙන අක්‌වැසි සමග නැවතත් වගා කටයුතු ආරම්භ කරයි. මේ සියලු ක්‍රියා පිළිවෙත් සිදු කරන්නේ සොබා දහමට අනුගත වීමෙන් ලබා ගත් පාරම්පරික දැනුමේ අනුසාරයෙනි.


පරිසරයෙන් අනාවැකි....


සොබාදහමට ආදරය කළ ගොවියාට අවට පරිසරයේ වැවුණු ගහ කොළත්, වෙසෙන සතා සිව්පාවාත් හිත මිතුරන් විය. හිරු එළියත්, සඳේ සිසිලත් ආශිර්වාදයක්‌ විය. මේ සැම අංගයක්‌ ම ගොවිතැනට උදව් උපකාර කළ හෙයින් ගොවියා මේ සියල්ලට ම දැක්‌වූයේ අපරිමිත සෙනෙහසකි. එසේ ම ගෞරවයකි. මේ කිසිදු දෙයකට හානියක්‌ සිදු කිරීමට ගොවියා පෙලඹුණේ නැත. මේ සැම දෙයක්‌ ම ගොවිතැනට අනාවැකි කියූ සාධක විය. පතොක්‌ කුලයට අයත් දළුක්‌ ගස ඉඩෝරය තවදුරටත් පවතින බැව් තේරුම් ගත්තේ ය. ඉදිරියේ පවතින ඉඩෝරය අනුව ඔහු ගොවිතැන් කටයුතු සැලසුම් කළේ ය. දළුක්‌ ගසේ දලු ලා අවසන් වන විට වැස්‌ස ළඟා වන බැව් දන්නා ගොවියා වැසි කාලයට අනුව කෙරෙන ගොවිතැන් කටයුතු සැලසුම් කළේ ය. සඳේ සඳ මඬලේ වර්ධනය පෙන්නුම් කිරීමත්, තරු රටා අපැහැදිලිව දිස්‌ වීමත්, වාතයේ ජල වාෂ්පවල වර්ධනයක්‌ පෙන්නුම් කරන්නකි. මේ දර්ශනය දිනෙන් දින වර්ධනය වීම වර්ෂාවක්‌ ළඟ එන බැව් කියන අනාවැකියක්‌ විය. ගොවියා මෙය මැනැවින් තේරුම් ගත්තේ ය. වේ හුඹස්‌වල දළු බැඳීම ජලය පොළොව මතුපිටට එන බව පෙන්වන සලකුණක්‌ විය. කක්‌කුටු ගුලේ ගොඩ දමන පස්‌ ප්‍රමාණය අනුව වැස්‌ස ඇති කාලය නිවැරැදිව මැන ගැනීමට ගොවියා දැන සිටියේ පරිසරය තුළින් ම ලද ඥානයෙනි. හැලපෙන්දා ගේ කඩිසර හැසිරීමත්, ඇටිකුකුළා ගේ කලබලයත් වැස්‌සක්‌ ආසන්න බැව් ඇඟවූ අනාවැකි විය. සත්ත්ව චර්යාව පිළිබඳව මනා අවබෝධයක්‌ ලත් ගොවියාට උන් ගේ හැසිරීම් තුළින් කාලගුණ අනාවැකි පැවසීමට තරම් දැනුමක්‌ ලබා ගැනීමට හැකි විය.

Saturday, July 2, 2022

ඇමසන් වනාන්තරය ගැන පුදුම කරුණු 10ක්




1. ඇමසන් යනු ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරයයි . ලොව  පුරා ආවර වන පරිදි වර්ග කිලෝමීටර මිලියන 5.5 ක විහිදී ඇත.


2.   ඇමසන් දකුණු ඇමරිකාවේ, බ්‍රසීලය, බොලිවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනා, සුරිනාම්  යන රටවල් ආවරණය වෙමින් තිබෙන වනාත්තරයකි..


3. වැසි වනාන්තරයට උතුරින් දිවෙන  ඇමසන් ගඟ - කිලෝමීටර් 6,840 ක් දිවෙන ජල මාර්ග සිය ගණනක් තිබෙන ලොව විශාලම ජල උප මාර්ග  ජාලයයි.යම් විවාදයක් පැවතුනද, බොහෝ විෂ්ලේෂකයන්ගෙ මතය  වන්නේ ඇමේසන් ගග නයිල් ගඟෙන් පසු ලෝකයේ දෙවන දිගම ගංගාව බවයි.


4.  2007 දී මාටින් ස්ට්‍රෙල්  නම් පුද්ගලයා ඇමසන් ගඟේ මුළු දිග මැනිමට පිහිනන්නට විය! එවිට  කැලෑ  ගමන නිම කිරීම සඳහා මාටින් දින 66 ක් දිනකට පැය දහයක් පමණ ජලය හරහා ගමන් කළ අතර එය මෙතෙක් පිහිනා ඇති දිගුම දුර වේ...😳😨


5.  ආදිවාසී අමරින්ඩියානු  ගෝත්‍ර 400-500 ක් පමණ  ඇමසන් වැසි වනාන්තරයෙ සිටින බව කියැවෙ. මෙම ගෝත්‍ර 50 පමණ කිසි විටෙකත් බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පවත්වා නැති බව විශ්වාස කෙරේ!😳😨( මීනි මස් කන අයලු ගොඩක් එ😳😨)


6.  ඇමෙසන්හී 

 ශාක විශේෂ 40,000 ,  

 පක්ෂි විශේෂ 1300 ,  

 මාළු වර්ග 3,000 ,  

 ක්ෂීරපායින් 430  

කෘමීන් මිලියන 2.5 ක් 

වෙනත් හදුනා නොගත් ජීවීන් ඇතුලු සතුන් විශාල ගණනක් ඇති බව කියැවෙ.


7.  ඇමසන් වල වඩාත් භයානකම දේ 

  විද්‍යුත් ඊල්ස් ,  

  මස් අනුභව කරන පිරනා  

  විෂ ඩාර්ට් ගෙම්බන් , 

  බරපතල  විෂ සහිත සර්පයන්

  අමුතුම බල සහිත ජීවීන්  .විශාල සංඛ්‍යාවක් සිටින බව වාර්තා වල සදහන් වේ.😨😳


8.  ඇමේසන් දී සොයා ගන්නා ලද එක් චිත්තාකර්ෂණීය මාළුවෙක් වෙන භයානක මස් අනුභව කරන්නෙකු වන පිරානෙකු ඇල්ලූ අතර මීටර් 3 කට ආසන්න දිගක් දක්වා වර්ධනය වෙන එම මාලුන් වෙන කිසිම ස්ථානයක් නැත...එම සතුන්ගෙ මුඛයේ,ඔළුවෙ සහ  දිවෙහි දත් තිබීම විශේෂයක්😳


9. අතිවිශාල ස්වාභාවික සුන්දරත්වයෙන් යුත් මෙම ප්‍රදේශය දේශගුණික විපර්යාස සීමා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි . බෙහෙත් පැලැටි මිලියන් 2 කට වඩා ඇති බවද කියැවේ.


10. ඇමේසන් වනයෙ ගස් ස්ථිර තිබෙ.එනම් ශාක උඩ ශාක.එලෙස තට්ටු ක්‍රෙමයටය. ඇත්ත වශයෙන්ම, එය කෙතරම් ඝනකමද කිව්වොත් .වැසි වැටෙන විට ජලය පොළොවට පැමිණීමට මිනිත්තු දහයක් පමණ ගත වේ !😳

ලොව හුදකලාම ගැහැණිය ඇයයි.


ලොව  හුදකලාම ගැහැණිය ඇයයි.

සෝවියට් රුසියාවේ ස්ටාලින් පාලන සමයේ

තම ආගමික නිකායේ සාමාජිකයන්ට කරන

වධහිංසා නිසා 1936 දීි එක්තරා පවුලක්

ඈත සයිබීරියානු කඳුකරයට පලා ගියහ.

එහිගොවිපොල ක් හාකුඩා නිවසක් තනාගෙන

ඔවුහු ජීවත් වූහ.කිසිවෙකුත් මොවුන් එහි

වෙසෙන බව දැන සිටියේ නැත.

   එහෙත්1978 දී ඔවුන් ලෝකයට නිරාවරණය 

විය.භූ විද්‍යා සමීක්ෂණයක් සඳහා කඳුකරයට

ගිය භූ ගර්භ විදෘඥයන් පිරිසකට ඔවුන්

හමුවිය.

   අද එහි ඉතුරුව සිටින්නේ 76 හැවිරිදි

ඇගෆියා ලයිකෝවා පමණි.ඇගේ පැල

දිරාපත්වී අබලන්ව ගොස් ඇත

    රෝග බෝවීම වැලක්වීම සඳහා ඇය

හමුවීම තහනම් කර තිබේ.

    රුසියන් කෝටිපතියකු විසින් නවීන

අංගෝපාංගයන් සහිත නිවසක් ඇය වෙනුවෙන් ඉදිකරමින්

පවතී.

Thursday, July 8, 2021

බ්‍රිස්ටල් හී බැලූන් සැනකෙළිය- එංගලන්තය


එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ සහ ලෝකයේම ජන ආකර්ෂණය දිනා ගන්නා අලංකාරම සැනකෙළියක් ලෙස බ්‍රිස්ටල් බැලූන් සැනකෙළිය හැදින්විය හැක. සෑම වසරකම අගෝස්තු මාසයේ දී පැවැත්වෙන මෙම සැනකෙළිය 2019 වසරේ සිට කොරෝනා රෝගය හේතුවෙන් අත්හැර දමා තිබේ. මෙම වසරේ ද එය පැවැත්වීමට හැකියවක් නොමැති බව එහි සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරයි. නමුත් නගරය පුරා එම බැලූන් පියාසර කරවමින් ජනයාට රාත්‍රී කාලයේදී නිවෙසටම වී දැකබලා ගැනීමේ හැකියාව ලබා දෙන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


මේ සදහා එංගලන්තය මූලික කරගෙන ලොවපුරා තරඟකරුවන් 100කට අධික ප්‍රමාණයක් එක් වතාවකදී තම බැලූන් ගුවනට මුසු කරයි. මෙම සංකල්පයේ නිර්මාතෘ වන්නේ ඩොන් කැමරන් ය.  මෙම සැනකෙළිය ප්‍රථම වතාවට පවත්වා ඇත්තෙ 1979 වසරේ දීය. එම වසර වන විටත් දින හතරක් පුරා මෙම සැනකෙළිය පැවැත්වුනු අතර ඒ සෑම දිනකම ලක්ෂයකට අධික ජන සංඛ්‍යාවක් එය නැරඹීමට පැමිණෙන ලදී.


මෙම සැනකෙළියේ විචිත්‍රම දර්ශනය දැකිය හැකිවන්නෙ රාත්‍රී කාලයේදී ය. සංගීතය සමඟ මිශ්‍ර වූ දීප්තියක් එම බැලූන් ඔස්සෙ ප්‍රේක්ෂකයාට විදිය හැක.එසේම අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් ද දැකගත හැක.

Sunday, July 4, 2021

ලොව විශාලතම හා සුඛෝපභෝගී සංචාරක මගී නෞකාව - _Symphony of the seas_


බාර්සිලෝනා ධජය යටතේ ලියාපදිංචිය පවතින, පාවෙන නඟරයක් බඳු මෙම සුවිශාල නෞකාව රෝයල් කැරිබියානු කෲස් සමාගමට අයත් වෙයි. මෙම සුවිශාල පාවෙන පාරාදීසය තැනීමට වියදම්ව ඇති සමස්ත මුදල ඩොලර් බිලියන 1.35 කි. නෞකාව දිගින් අඩි 1180 කි. මෙහි මගීන් 6680කට ගමන් කල හැකිය. කාර්ය මණ්ඩලය 2200කින් සමන්විත වන අතරම, නෞකාව තට්ටු 18 කින් යුක්ත වන්නේය. 


ලොව බොහෝ ධනවත් සංචාරකයන් මෙම නෞකාවේ සිය සුන්දර නිවාඩු ගත කිරීම පිණිස පැමිණෙයි. නෞකාවේ අසිරිය විඳ ගැනීමට සංචාරකයන්හට ප්‍රමාණවත් කාලය මෙන්ම වියපැහැදම් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් අත්‍යාවශ්‍යම වෙයි. 


2015 වසරේ ඇමෙරිකානු සමාගමක් විසින් නිර්මාණය කිරීම ඇරඹි අතර, 2018 වර්ෂයේ මාර්තු මාසයේදී බාර්සිලෝනා සිට සිය මංගල ගමන දියත් කළ මෙම නෞකාව රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, සම්බාහන මධ්‍යස්ථාන හා පැසිපන්දු ක්‍රීඩා පිටියකින් ද සමන්විත වෙයි. එසේම, ආසන 1400ක රංඟ ශාලාවක් හා තවත් රංඟ ශාලාවන් කිහිපයකින් ද යුක්ත වන්නේය.


ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් විශාල වන මෙහි එළිමහන් වේදිකා සහිත රඟහලක්, උද්‍යානයන්, සුඛෝපභෝගී සන්නාම සහිත සාප්පු, තරු පන්තියේ භොජනාගාර ද වෙයි. ටොන් ලක්ෂ 2.27 ක ස්කන්ධයක් සහිත වන මෙහි අට වැනි මහලෙහි ඇති මධ්‍යම උද්‍යානයෙහි විවිධ වර්ගයෙහි නිවර්තන කලාපීය වර්ගයේ පැල 20,000 ක් පමණ දැකගත හැකිය. උද්‍යානයෙහි හිඳිමින් නිදහසේ කාලය ගත කිරිමේ හැකියාව සංචාරකයින්හට හිමිව ඇත්තේය. 


සමස්ත නෞකාවට එන්ජින් තුනකින් බලය ලබා දීම සිදු කරන අතර, අශ්ව බල 7380 ක බලයක් ජනනය කරනු ලබන්නේය. එසේම, පැයට කිලෝමීටර් 41 ක සාමාන්‍ය වේගයකින් ගමන් කිරීමට ද නෞකාවට හැකියාව පවතියි. එයට අමතරව, එක් දිනකට නෞකාව මගින් ගැලුම් 66,000 ක පමණ ප්‍රමාණයකින් යුතු ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබයි. 


නෞකාවෙහි වන, The Perfect Storm Water Slides හි ජලය සමඟ ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට හැකියාව පවතින අතර, Zip Line හි ජලය සමඟ විවිධ ක්‍රීඩා මගින් නවමු අත්දැකීම් ලබා ගැනීමට පවා අවස්ථාව හිමි ය. නැවෙහි වන Symphony Dunes ස්ථානයට කුඩා දරුවන් බෙහෙවින් කැමැත්තක් දක්වයි. එසේම, Studio B center ice rink හි විවිධ අලංකාර වර්ණ අතුරෙන් අයිස් මත නර්තනයෙහි යෙදෙන ශිල්පීන් දැක බලා ගැනීමට ද හැකි වෙයි. Royal Theater හි විකාශය වන චිත්‍රපට නෞකාවෙහි 3, 4 හා 5 යන මහල්වල සිට නැරඹීය හැකිය. Aqua Theater හෙවත් ඔලිම්පික් මොඩලයේ වේදිකා සහිත ජලජ රඟහලට අයත් ස්ථානයෙහි ජලය සමඟ විවිධ ත්‍රාසජනක අත්දැකීම්හි නිරත වන්නන් දෙස බලා සතුටු වීමට අවස්ථාව ද හිමි වෙයි. 


නෞකාවෙහි ප්‍රධාන භෝජනාගාරය 3, 4 හා 5 යන මහල් පුරාවටම පැතිර යනු ලබන අතර, විවිධ සාම්ප්‍රදායික ආහාර වේල් පවා රස විඳිය හැකිය. රසවත් ආහාරවලින් සමන්විත පෞද්ගලික භෝජනහල් වන Windjammer Marketplace මගින් රසකැවිලි වර්ග හා නොයෙක් ආහාර රස විඳිය හැකිය. එමෙන්ම, Izumi, Sorrento' s, Johnny Rockets, Jamie' s Italian Foods යන භෝජනහල්වලින් විවිධ රටවලට ආවේණික ආහාර වර්ග පවා මිල දී, රස විඳිය හැකිය. 


නෞකාවෙහි අට වන මහලෙහි වන Chop Grilles මෙන්ම Bionic Bar මගින් ඇනවුමට අනුව ස්වයංක්‍රීයව පුරවා ලබා ගත හැකි කොක්ටේල් පානයන් සඳහා ද නෞකාව සුවිශේෂී වෙයි. තවත් විවිධ බාර්හල්වලට අමතරව, නැව අයිති සමාගමට අයත් වන සාප්පු සංකීර්ණයක් ද මෙහි වෙයි. Sugar Beach නම්, විවිධ රසැති චොකලට් වර්ග හා බීම වර්ග හා විවිධ රසකැවිලි ද මිල දී ගත හැකි ස්ථානයකි. විවිධ ව්‍යායාම මධ්‍යස්ථානයන් හා විඩාව මඟ හරවා ගත හැකි ආකාරයේ නැවතුම්පොළවල් ද නෞකාවෙහි වෙයි. 


විවිධ රටවල සිට පැමිණෙන සංචාරකයින් සමඟ විනෝද වීමටත්, ලොව වෙනත් කිසිඳු නෞකාවකින් ලබා ගත නොහැකි ආකාරයේ අත්දැකීම් ලබා ගැනීමටත් පවතින පාවෙන දිව්‍යලෝකයක් බඳු වූ මෙම නෞකාව සංචාරක ලෝකය තුළ වඩාත් වැදගත් වූවක් වශයෙන් හඳුන්වා දිය හැකි වන්නේය.

Saturday, July 3, 2021

සුන්දර ලූල්කඳුර සහ කොන්ඩගල





චීනයේ සිට ඇසෑමයට අධිකාරීවරයෙක් තමන්ගේ සැරෑටියේ දමාගෙන තේ ඇට කීපයක් සගවාගෙන ගොස් තේ පැල වගාව ආරම්භ කලා වගේම, ඇසෑමයේ සිට ලංකාවටත් මේ විදියට තේ ඇට සොරෙන් ගෙනත් පැල කරලා විප්ලවීය ආර්ථික බෝග වගාවක මුල් පියවර තැබුවා. ඔහු ලංකාවේ පලවෙනි තේවතු අධිකාරී ජේම්ස් ටේලර් මහතායි. ඒ භූමිය ලූල්කදුර වතුයායයි.


හිතන්න ඒ හිටවපු තේ පැලයෙන් සිදුවුන මහා ආර්ථිකමය, සමාජමය, සංස්කෘතිකමය විප්ලවය. අදටත් මහා මුදල් ගොන්නක් අපේ රටට ඇදගන්න කර්මාන්ත අතරින් ප්‍රමුඛයෙක්. 


ඒ වගේම ලංකාවේ පලවෙනි තේ පැලෙන් පස්සේ සාම්ප්‍රදායික බෝග වගා පරිහානියකුත් දැවැන්තව සිද්ධවුනා.


ලංකාවේ තේ වගාවේ ඉතිහාසයට උරුමකම් කියනුයේ කන්ද උඩරට, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කයන් දෙකට අයත් ලූල්කඳුර වතුයාය ය. මහනුවර සිට ගලහ දෙල්තොට හේවාහැට මාර්ගයේ කිලෝමීටර් 46ක් ගමන් කළ පසු ඓතිහාසික තේ වගාවේ ආරම්භක ක්ෂේම භූමියවන මෙය හමුවේ.


ලූල්කඳුර වතුයාය විශාලය. එහෙයින් ඔබට කිලෝමීටර් ගණනක් දුර ලුල්කඳුර වතුයායේ විවිධ නාමපුවරු දැකගත හැකිවනු ඇත. ඒ අතුරින් එක්තරා ස්ථානයක දී වගාවත් සමග මාර්ගයේ දකුණු පසින් සර් ජේම්ස් ටේලර්ගේ බංගලාව සහ ආසනය ලෙස සඳහන් පුවරු දැක ගත හැකිය.


ටේලර්ගේ තේ කිලෝව එකල ලන්ඩන් වෙන්දේසියේ අලෙවි වී තිබුණේ රුපියල් 1.50 කටය. හෙක්‌ටයාර් 1047 ක්‌ වැනි අති විශාල භූමි භාගයකින් පොහොසත්ව තිබුණු ලූල්කඳුර තේ වත්ත අද හෙක්‌ටයාර් 460 කට සීමා වී ඇත. සෞම්‍ය කාලගුණික තත්ත්වයන් ඇති කාලවලදී තේ කර්මාන්ත ශාලාවට අමු තේ දළු කිලෝග්‍රෑම් 10,000ක් පමණ ගෙන එනු ලබන අතර, අහිතකර කාලගුණ තත්ත්වයන් ඇති විට මේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 6000 - 7000ත් අතර පවතියි.

සම්ප්‍රදායික තේ කර්මාන්ත ශාලාවක ලක්ෂණ රැගත් මෙකී කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ කෞතුකාගාරය ලෙස හැඳින්විය හැකිය. 


 මෙම ප්‍රදේශයේ  බහුලව දක්නට ඇත්තේ තේ වතු අතර කොන්ඩගල  නම් මනරම්  ගිරි ශිකරයද  මෙහි පිහිටා ඇත. ගවේශකයා මෙම  කොන්ඩගල ගිරි ශිකරයක් ලෙස  හැදින්වුයේ මෙම ගල උලක් ලෙසට හෙල දෙසට නෙරා ආ ස්භාවික පිහිටිම නිසාය.

මෙම කොන්ඩගල නම් ස්ථානයට යාමට ඇති පාර වැටී ඇත්තේ ලූල්කදුර නම් සුන්දර තේ වතුයාය මැදින්ය.

ඒ මැදින් යන ඔයාලට තේ කර්මාන්තයෙන් ජීවිතේ ගැට ගහ ගන්නා දුප්පත් ජනතාව දැක බලා ගන්න පුලුවන්. එම ස්ථානයට  යන්න තියෙන්නේ මේ  වත්ත මැදින් ටික දුරක් යන කොට වමට හැරෙන්න තියෙනවා පාරක් ඒකේ යන්න ඕනේ බංගලාවට. පාර ගේට්ටුවක් දාල වහල තියෙන්නේ

බංගලාව ලගින් කොන්ඩගලට යන පාරට නොයා අනෙක් පැත්තේ ගියොත්

පරන තේ වත්තකට යන්න පුළුවන් එහි අඩි 10 පමන උසට වැඩුනු තේ ගස්

බලාගන්න පුළුවන්.


මෙහෙට යන ඔයාලට බලන්න පුලුවන් දේවල්.


1) ටේලර් ගේ නිවසේ නටඹුන්. 

2) ටේලර් භාවිතා කල ලිඳ .

3) පළවෙනි තේ ගස. 

4) ටේලර් භාවිතා කල ගල් ආසනය. 

5) සිහිවටන.

6) කොන්ඩගල.

    

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...